හදිසි අනතුරකින් ජීවිතාවදානමක සිටින පුංචි දියණියකගේ ඉල්ලීම පරිදි මුහුණුපොතේ පින්වත් කළණ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සාංඝික දානයක් පූජාකල වගයි ... - IFBC Organization | Our Projects

Posted by | January 08, 2015 | All Posts | No Comments

අද දින අපි තවත් පින්කමක් සිදුකලා. ඒ තමයි හදිසි අනතුරකින් ජීවිත අවධානමක සිටින අහිංසක දියණියකගේ ඉල්ලීම පරිදි සාමණේර භික්ෂූන්වහන්සේලා විෂයයෙහි සාංඝික දානයක් පැවැත් උනා.

රූපයේ සිටින දියණියගේ සිරුර මතට බිත්තියක් කඩා වැටීම හේතු‍වෙන් දුවගේ ස්වාසනාලය ආශිතව දැඩි හානියක් සිදු උනා. ඉතින් පුංචි දුවගේ ජීවිතය අපහසුවෙන් ගොඩගත්තත් දියණියගේ වැඩීමත් සමග ඇගේ ජීවිතය අවදානම් තත්වයකට පත්වෙලා

ඉතින් දුව නිතරම පිනට දහමට ලැදි නිසා දුවගේ ඉල්ලීමක් තිබුනා සාංඝික දානයක් දෙන්න. ඒ නිසා පින්වත් කළණ මතුරන් දෙදෙනෙකුගේ හා මිතුරියකගේ දායකත්වයෙන් ඒ සිගිත්තියගේ ඉල්ලීම ඉටු කරන්න.

මේ වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ

සේපාලිකා ගමගේ නංගියා  රු 8500/-

ඉෂාර ප්‍රනාන්දු මහතා රු 2000/-

සුනෙත් ජයන්ත මහතා රු 3256/-

වෙනත් රු 200/-
—————————————-

ලද මුලු මුදල -13956/-

පිරිකර සදහා වැය වූ මුදල – රු 5692.00

අට පිරිකර විහාරස්ථානයෙන් ලබාගත්තා රු. 1,500.00

දානය සහ අවුල්පත් සදහා වියදම  රු 6909.00

—————————————————-

මුලු වියදම  – 13291.00

ඉතිරි මුදල  – 665.00

ඉතිරි මුදල  දිනපතාම අසරණ බලු පැටවුන් වෙනුවෙන් දානයක් පූජා කරන අතර ඒ වෙනුවෙන් වෙන් කරනු ලබනවා …

ඉතින් අදත් අපේ මිතුරු මිතුරියන්ට පින් දෙන්න කලින් සාංඝික දානයේ ආනිසංස මොහොතක් බලමු.

සුළුවෙන් තැකිය යුතු නැති සාංඝික දානය

දානය යන්න දීම, පරිත්‍යාගය, අත් හැරීම යන අර්ථයෙන් අරුත් ගැන්වේ. එය බෞද්ධ සමාජයට නුහුරු නුපුරුදු වදනක් නොවන අතර එදිනෙදා ජීවිතයෙහි “දීම” බෞද්ධ අබෞද්ධ කොයි කවුරුත් පාහේ සිදු කරනු ලබන්නකි. මේ ලිපිය තුළින් බලාපොරොත්තු වෙනුයේ දානය පිළිබඳ බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගත දක්ෂිණාවිභංග සූත්‍රය තුළින් පැහැදිලි කිරීමයි.

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වෙනුයේ ගිහි පැවිදි භේදයකින් තොරව දන් දීම හා අත හැරීම පුරුදු කරගත යුතු බවයි. මන්ද ගිහි පැවිදි දෙපාර්ශ්වයම දීර්ඝතර වූ ඝෝර, කටුක, සංසාරය තුළ ගමන් කරනා බැවිනි. සංසාරය තුළ ගමන් කරනා සත්වයා හට භව ගමනේ සුඛ සංතුෂ්ටිය සදා දෙනුයේ පිනයි. එබැවින් දන්දීම මඟින් පින් සිදුවන වන බැවින් දන් දීම පුරුදු කරගන්නා ලෙස බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. එමෙන්ම දන් දෙන විට අත්හැරීම නිරායාසයෙන්ම සිදු වන බැවින් එය ආශාව, තෘෂ්ණාව අඩු වීමට හේතු කාරක වන අතර එය ජීවිතයට නිබඳවම පුරුදු පුහුණු කිරීම තුළ නිර්වාණගාමී ප්‍රතිපදාව එහිම අන්තර්ගත වී තිබේ.

දානය පිළිබඳ මනා අවබෝධයක් ලැබීමට දක්ෂිණාවිභංග සූත්‍රය පාදක කොටගත හැකිය. ප්‍රජාපති ගෝතමිය සිය අතින් සිවුරක් සකස් කොට ගෙනවිත් බුදුරදුන් හට පූජා කළ විට බුදුපියාණෝ පෙන්වා දෙනුයේ “සංඝෙ ගොතමි දෙහි, සංඝෙ තෙ දින්නේ අහංචෙව පූජිතො භාවිස්සාමි සංඝොචාති” මහා සංඝරත්නයට දෙන්න එවිට එය මා හට ද පූජා කළා වෙන අතර සංඝයා හට ද පූජාවක් වන්නේය. ප්‍රජාපතිය තුන් විටක් ආයාචන කරන විට ආනන්ද තෙරුන් සුළු මවට අනුකම්පාවෙන් එම චීවරය පිළිගන්නා ලෙස ඉල්ලූ විට බුදුරදුන් පෙන්වා දෙනුයේ පෞද්ගලිකව බුදු කෙනෙකුන් හට පූජා කරනවාට වඩා මහා සංඝයා හට දීම මඟින් වඩා වැඩි ආනිශංස ළඟා කරගත හැකි වගයි. එමෙන්ම එයට තමන් වහන්සේ ද අයත් වෙන බව පෙන්වා දෙන අතර පෞද්ගලිකව දිය හැකි දාන 14 ක් ඇති බව‍ පෙන්වා දෙන ලදී.

ඒවා මෙසේය.

  1. ලොව්තුරා බුදුරදුන් හට දෙනු ලබන දානය.
  2. පසේ බුදුවරයන් වහන්සේ නමකට දෙන දානය.
  3. රහතන් වහන්සේ නමකට දෙනු ලබන දානය.
  4. රහත්ඵලය පසක් කරන්නට පිළිපන් ආර්යන් වහන්සේ හට දෙනු ලබන දානය.
  5. අනාගාමි ආර්යන් වහන්සේට දෙනු ලබන දානය.
  6. අනාගාමි ඵලය පසක් කරන්නට පිළිපන් ආර්යන් වහන්සේ හට දෙනු ලබන දානය.
  7. සකෘදාගාමි ආර්යන් වහන්සේට දෙනු ලබන දානය.
  8. සකෘදාගාමි ඵලය පසක් කරන්නට පිළිපන් ආර්යන් වහන්සේට දෙනු ලබන දානය.

9.සෝවාන් ආර්යන් වහන්සේට දෙනු ලබන දානය.

  1. සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන් ආර්යන් වහන්සේට දෙනු ලබන දානය.

11.කාමයෙන් වීතරාග වූ බාහිර තාපස උතුමෙකුට දෙනු ලබන දානය.

  1. පුහුදුන් සිල්වතුන් කෙරෙහි දෙනු ලබන දානය.

13.පුහුදුන් දුසිල්වතුන් හට දෙනු ලබන දානය.

  1. තිරිසන් සතුන් හට දෙනු ලබන දානය.

මේ දාන දාහතර පෞද්ගලිකව පිදිය හැකි දානයන් ලෙස දක්ෂිණාවිභංගයෙහි පෙන්වා දී ඇත. තිරිසන් සතෙකුට දීමෙන් ආත්ම සියයක අනිශංස ද, පුහුදුන් දුසිල්වතෙකුට දීමෙන් ආත්ම දාහක ද, පුහුදුන් සිල්වතෙකුට දීමෙන් ආත්ම සිය දහසක් ද, බාහිර තාපසයෙකුට දීමෙන් කෙළ ලක්ෂයක් ද, සෝවාහන් ඵලය පසක් කරන්නට පිළිපන් තැනැත්තෙකුට දීමෙන් අසංඛෙය්‍යක් භාවයන්හි ආනිශංස ලබා ගත හැකි බව පෙන්වා ඇති අතර මාර්ගඵලයන් හට පත් වුණ උතුමෙකුට දීමෙන් අනවරාග්‍ර සංසාරයේ දීර්ඝ කාලයක් සැප විපාක ලැබිය හැකි වග පැහැදිලිය.

පෞද්ගලිකව දෙනු ලබන දානයට වඩා බෞද්ධ දර්ශනය තුළ පසසා ඇත්තේ සංඝිකව දෙනු ලබන දානයයි. පෞද්ගලික දානය ළිඳක ඇති ජලය මෙන් ද සංඝික දානයෙන් ලැබෙන ආනිසංස සාගරයෙහි ජලය මෙන් නිම නොවන වග පෙන්වා දී ඇත. “කප්පානි සත සහස්සානි සංඝෙ දින්නං නතස්සති” කල්ප සියදහස් ගණනක් ගත වී ගියද සංඝයා හට දෙනු ලබන දෑ, නැති නොවේ එහි අදහසය. දක්ෂිණාවිභංග සූත්‍රය තුළ සාංඝිකව දිය හැකි දාන හතක් පෙන්වා දී ඇත. ඒ මෙලෙසය.

සාංඝික දාන 07

  1. බුදුන් ප්‍රමුඛ උභතො සංඝයා හට දෙන දානය (උභතො සංඝයා යනු භික්ෂු භික්ෂුණි දෙපාර්ශවයම)
  1. තථාගතයන් පිරිනිවුණ කල උභතො සංඝයා හට දෙනු ලබන දානය‍.
  1. භික්ෂු සංඝයා හට දෙනු ලබන දානය.
  1. භික්ෂුණි සංඝයා හට දෙනු ලබන දානය.
  1. මෙතෙක් භික්ෂුහු ද මෙතෙක් භික්ෂුණිහු ද සංඝයා වෙනුවෙන් ගෙන දෙනු ලබන දානය.
  1. මෙතෙක් භික්ෂු සංඝයා වෙනුවෙන් ඉල්වාගෙන දෙනු ලබන දානය.
  1. මෙතෙක් භික්ෂුණි සංඝයා වෙනුවෙන් ඉල්වාගෙන දෙනු ලබන දානය.

යනුවෙන් සාංඝිකව දිය හැකි දාන හතකි. අනාගතයෙහි පහළ වෙන කාසාවකණ්ඨක නැමැති දුසිල් මහණුන් හට ද, සංඝයා අරමුණු කොට දන් දෙන්නෙ නම් ඒ දානය ද මහත්ඵල මහා ආනිශංස ලැබෙන බවත්,පෞද්ගලිකව දාන සියල්ලටම වඩා එහි ආනිශංස වැඩි බවත් බුදුර‍ජාණන් වහන්සේ දක්ෂිණාවිභංග සුතුරෙහි මෙසේ දක්වා ඇත.

“භවිස්සන්ති ඛො පනානන්ද අනාගත මද්ධානං ගොත්‍රභුනෙ

කාසවකණ්ඨා දුස්සීලා පාපධම්මා තෙසු දුස්සීලෙසු

සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපහං ආනන්ද

සංඝගතං දක්ඛිණං අසංඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි.

තත්වොහං ආනද කෙනවි පරියායෙන සංඝගතාය දක්ඛිණාය

පාටිපුග්ගලිකං දානං මහප්ඵලතරං වදාමි”

මෙහිදී බුදුන් වහන්සේ අවධාරණය කෙරෙනුයේ පෞද්ගලික දානය සංඝික දානය තරම් ආනිශංස ලැබෙන බව කිසිදු මොහොතක තමන්වහන්සේ නොවදාරණ වගයි. එහෙයින් දානයන් අතර සාංඝික දානය තුළින් වඩා වැඩි අනිශංසයක් ළඟා කරගත හැකි වග පැහැදිලි වේ.

දන්දීමෙන් ලැබෙන ආනිශංස තීරණය වෙනුයේ දෙනු ලබන වස්තුවම අනුව නොව ඒ පිළිබඳ දෙනු ලබන පුද්ගලයාගේ සිතෙහි ඇති වන චේතනාවන් මත බව පැහැදිලි වෙන කථා පුවතක් බෞද්ධ සාහිත්‍ය තුළ ඇතුළත්ව ඇත. බුදුරජාණන් වහන්සේ සමඟ සැරියුත් හිමියන් ධර්ම සාකච්ඡාවේ යෙදී සිටි අවස්ථාවක බුදුරදුන් සැරියුත් හිමියන්ගෙන් විමසනුයේ සැරියුත් ඔබ මට දානයක් දෙනු ලබනවා, මම ද ඔබට දානයක් දෙන අතර මෙහිදී අප දෙනම වහන්සේගෙන් කා හට වැඩියෙන් පිං ලැබේ දැයි කියාය. සැරියුත් හිමියන් පවසනුයේ බුදුරජාණන් වහන්සේට තමන් දෙනු ලබන දානය මහත්ඵල වෙනු ඇති බවයි. සැරියුත් හිමියන් යනු ආග්‍රසාවකයාණෝය. උන්වහන්සේගේ හැකියාවන් පැහැදිලි කිරීමේ දී සඳහන් වනුයේ මුළු දඹදිවටම සත් දිනක් තුළ වහින වැස්සෙහි ඇති දිය බිඳු ප්‍රමාණය ගණනය කොට කීමෙහි හැකියාවක් උන්වහන්සේ තුළ පැවැති බවයි. නමුත් මෙහිදී බුදුරදුන් සැරියුත් හිමියන්ගේ පිළිතුර ප්‍රතික්ෂේප කොට පවසනුයේ බුදුන් වහන්සේ විසින් සැරියුත් හිමියන් හට දෙනු ලබන දානය වඩා වැඩි ආනිශංස ලැබෙන වගයි.

මෙහිදී උන්වහන්සේ පෙන්වා දෙනුයේ දානය පිළිබඳ සැරියුත් හිමියන් හට වඩා තමන් වහන්සේට වැඩි අවබෝධයක් හා වැටහීමක් ඇති බැවින් එසේ වන බවයි. මින් නිගමනය වනුයේ දානයේ ආනිශංස තීරණය වීමට දෙනු ලබන තැනැත්තාගේ සිත ප්‍රබලවම දායක වෙන බවයි. මේ පිළිබඳ පැහැදිලි වෙන කතා පුවත් රාශියක් බෞද්ධ සාහිත්‍ය තුළ අන්තර්ගත වී ඇත. දුගී යාචකයෙකු සිඟා යන විට ඔහුට දැනෙනුයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් භික්ෂු සංඝයා අසල රාජ මාලිගාවක දානය වළඳන වගයි.

මෙහිදී දුගී පුද්ගලයකු වුවත් ශ්‍රද්ධාවෙන් පොහොසතෙකු වූ හෙතෙම බුදුන් ප්‍රමුඛ මහා සඟනට දානය පූජා කිරීමට සිත දැඩි වුවද රාජ මාළිගයකට අද මෙන්ම එදත් යාචකයෙකුට ළඟා විය නොහැකි හෙයින්, හෙතෙම තමන්ට සිඟා යෑමේදී ලැබී තිබුණු මුං ඇට ටිකක් ගෙන බුදුන් වහන්සේ දානය වළඳන මාලිගය පැත්තට විසිකරනුයේ අපමණ ශ්‍රද්ධාව හිත පුරවාගෙනය. මෙය දිවසින් දුටු තථාගතයන්ගේ අධිෂ්ඨානය පරිදි මුං ඇට ටික බිමට නොවැටී තෙරුන් වහන්සේලාගේ පාත්‍ර තුළට වැටෙන්න සැලැස්විය. මෙය දුටු දුගියා සතුටට පත් විය. අනතුරුව කම් පරිද්දෙන් දානය දුන් රජුත්, දුගී යාචකයත් මිය පරලොව ගිය අතර දෙදෙනාම මරණින් මතු එකම දිව්‍ය ලෝකයක ඉපදුණි. දානය දුන් රජ ආල්පේශාක්‍ය දෙවි කෙනෙකුන් විය. මුං ඇට ටික දුන් යාචකයා මහේශාක්‍ය බල සම්පන්න දෙවි කෙනෙකුන් වී උපත ලැබීය.

ඉහත කථා පුවතින් ද අනාවරණය වෙනුයේ ආනිශංස තීරණය වන්නේ දෙනු ලබන වස්තුව අනුවම නොව දෙනු ලබන තැනැත්තාගේ සිත තුළ ඇති වෙන චේතනාව මත බවය. රජු දන් දෙනු ලැබුවේ මහ ජනප්‍රසාදය පිණිසය. එහෙයින් ඔහුට අල්ප විපාකත් දුගියා ශ්‍රද්ධාව පෙරදැරිව දුන් බැවින් ඔහුට මහා විපාකත් හිමි විය.

දානයක් මහත්ඵල මහා ආනිශංස වීමට බලපාන කරුණු බෞද්ධ දර්ශනය තුළ පෙන්වා දී ඇත්තේ මෙසේය.

“යො සිලවා සිල්වන්තෙසු දාදාති දානං

ධම්මෙන ලද්දං සුපසන්න ඩිත්තො

අභි සද්ධහං කම්මඵලං උළරං

තං වෙ දානං විපුල ඵලන්ති බෑමි”

යම් සිල්වතෙක් සිල්වතුන් හට ධාර්මිකව ලබන ලද දානයක් ප්‍රසන්න සිතින් කර්මය, කර්ම ඵලය, අදහාගෙන දෙනු ලබයි ද එම දානය මහත්ඵල මහා ආනිශංස ලැබෙන බව මෙයින් පෙන්වා දී ඇත.

දානයක් දීමේදී වැදගත් වෙන අවස්ථා තුනක් පිළිබඳ බෞද්ධ දර්ශනයෙහි සඳහන් වේ.

  1. පූර්ව චේතනාව
  1. මුඤ්චන චේතනාව

iii. අපර චේතනාව යනුවෙනි.

පූර්ව චේතනාව යනු දානය දීමට පෙරාතුව දානය ගැන සිතන සිතුවිලි ය. මුඤ්චන චේතනාව යනු දානය දෙනු ලබන අවස්ථාව තුළ ඇති වන සිතුවිලි වේ. අපර චේතනාව යනු දීමෙන් අනතුරුව දානය පිළිබඳ ඇතිවන සිතුවිලි ය. මේ අවස්ථා තුනේදීම ඇතිවෙන සිතුවිලි ප්‍රසන්න වීම දානයක් මහත්ඵල මහා ආනිශංස වීමට බලපානු ලබන අතර එම අවස්ථාවන් එලෙස නොවුන විට ආනිශංසයන් වෙනස් වෙන අයුරු සඳහන් වෙන කථා පුවත් රාශියක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත. ඒ අතර අපුත්ථක සිටුහුගේ කථාව ප්‍රචලිතය.

අසූ කෝටියකට අධික විශාල ධනයක් හිමිව සිටි මේ සිටුවරයා හට පුතෙකු හෝ දුවකු හෝ නොසිටි අතර මෙපමණ ‍ ධනයක් හිමිව සිටියද හරිහමන් කෑමක් හෝ නොගත් මොහු ආහාරයට ගනු ලැබුවේ කාඩි හොද්දක් සමඟ බත් ය. කසී සළු තිබුණ ද ඇන්දේ හණවලින් සාදන ලද වස්ත්‍රය. ගමන් ගනු ලැබුවේ පරණ ගොන් කරත්තයකිනි. මෙසේ ජීවත් වූ මොහු හදිසියේ මිය ගිය විට සියලු ධනය රාජසන්තක වූ අතර කොසොල් රජු බුදු රදුන්ට මොහු ගැන දන්වා විමසා සිටියේ මෙපමණ ධනයක් සතුව සිටි මොහු හට එම සම්පත් භුක්ති විඳීමට සිත් නොඇලුණු කරුණ මන්ද යන්නය. මෙහිදී අපුත්ථක සිටුහුගේ පෙර සංසාරයේ කරන ලද කර්මය විපාක වශයෙන් මෙසේ සිදුවුණ වග විස්තර කර අතීත කර්මය පෙන්වා දෙනුයේ මේ සිටු මීට පෙර අත්භවයක මෙසේ ම සිටු කෙනෙකුන්ව සිටිනා කල මෙතෙම කිසිම දිනක කිසි දෙයක් දුගී මඟී යාචකයෙකුට නොදුන් තද මසුරෙකි.

දිනක මෙතෙම ගමනක් යාමට එළියට බසින විට පිඬු පිණිස වඩින ලද පසේ බුදුන් නමක දැක තම බිරිඳට කතා කොට මේ ශ්‍රමණයා හට යමක් දෙන ලෙස කියා හෙතෙම ගමන ගිය අතර මේ සිටුහුගේ සිටු දේවිය දීමට කැමැති තැනැත්තියක් වූ බැවින් මැනැවින් ආහාරයක් සකස් කොට පසේ බුදුන්ට පිළිගැන්වීය. දානය ගෙන නැවැත තම ආරාමයට වඩින පසේ බුදුන් හට ගමන ගොස් නැවැත පැමිණෙන අතරමඟ මුණ ගැසුණ අතර සිටුතුමන් දානය ලැබුණා දැයි අසමින් පසේ බුදුරදුන්ගේ පාත්‍රය බලනුයේ වටිනා ආහාරයක් පුදා තිබෙනු පසුතැවිලි සිත් ඇත්තේ මේ ආහාරය නොදී සිටියා නම් කවරෙකු හට හෝ යම් වැඩක යොදවන්නට තිබුණ බව සිතමිනි. දානය දුන් පිනින් උපනුපන් අත්භවයන්හි ඔහුට භව භෝග සම්පත් ලැබුණු අතර දුන් දානය ගැන පසුතැවිලි වූ බැවින් එම වස්තූන් භුක්ති විඳීමට ඔහුට නොහැකි වූ වග පෙන්වා දෙන ලදී. මේ අනුව දානයක් දීමෙන් පසු අත්වෙන අපර චේතනාව හෙවත් දානයෙන් අනතුරුව ඇතිවෙන සිතුවිලි පිරිසිදු වීම වැදගත් බව මේ කථා පුවත තුළින් අනාවරණය වේ.

දානයක් දීමේදී ‍ දාන වස්තුව මහත්ඵල මහානිශංස වීමට දාන වස්තුව කෙසේ උපයාගත යුතුදැයි මෙසේ දක්වා ඇත.

“උට්ඨාන විරියාධි ගථා

බහා බල පරිචිතා

සෙදා වක්කිත්වා

ධම්මිකා ධම්මලද්දා”

උට්ඨාන වීර්යයෙන් යුතුව බහු බලයෙන් ද දහඩිය වගුරවා ධාර්මිකව ධර්මයෙන් ලද දාන වස්තුවක් දන් දීමට යොදාගත යුතු බව මෙමඟින් පෙන්වා දෙනු ලබයි. ආහාර දීම තුළින් ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව යන අංග පස සංසාරය තුළදී ලැබෙන බව ධර්මයට අනුව පෙන්වා දිය හැකිය. දස පාරමිතාවන් තුළ ප්‍රථමාංකයෙහි යෙදෙන දානය සංසාරය ජීවිතයට පමණක් නොව මේ භවයේදීම ජන සමාජය තුළ දන් දෙන තැනැත්තා පිළිබඳ මනා කීර්ති රාවයක් සමාජය තුළ පැතිර යාමට දානය හේතු සාධක වේ. හෙතෙම යන එන තැන කීර්තිමත් පුද්ගලයෙකු ලෙස සමාජය පිළිගනු ලබයි. එහෙයින් දානය මෙලොව පරලොව ජය ගත හැකි මඟකි.

 

ඉතින් මෙවන් පින්කමක් සිදුකරගත් මහා පින්කමේ අශිර්වාදය මේ අසරණ අහිංසකාවියට මහා ශක්තියක් ලබාදී ඇයට තිබෙනා වූ සියලු අකුසල කර්මයෝ දුරුවේවා. නිරන්තරයෙන්ම යහපත උදාවේවා. සියලු මාරක අපල දුරුවේවා. දීර්ඝායුෂම ලැබේවා.

ගරු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවේදි දේශනා කලේ මෙවන් පින්කම් බුද්ධ ශාසනය පවත්නාකල් අඛණ්ඩව පින් රැස් ‍කරන බවයි. මොකද අපි දානය පූජා කරන්නේ අතීත, වර්තමාන, අනාගත සංඝරත්නය වෙනුවෙන් නිසයි.

ඉතින් පින්වත් යාලුවේ, ඔබ සිදුකල මේ මහානර්ඝ පින්කමේ බලයෙන් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා.  ඔබ සිදුකලේ පුංචි පින්කමක් නෙවෙයි. අතීත, වර්තමාන, අනාගත සංඝයා විෂයෙහි සිදුකල මහා බලසම්පන්න පූජාවක්.  මෙවන් පින්කමක් සිදුකල ඔබවන් දුවෙකු, පුතෙකු බිහිකල රත්තරන් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඔවුන්ගේ ජීවිත සැපවත් වේවා. නිදුක් නිරෝගී ජීවිත හිමිවේවා. ජරා, ව්‍යාදි, මරණ යන දේවල් කාටත් පොදු උවත් ඉන් ලැබෙන අපහසුව දුරුවී සුවදායක ජීවිතයක් උදාවේවා. …

ඔබේ සමීපතමයන්ටද මේ පින් හිමිවී දිවිගමන යහපත් වේවා …

දෙවි බඹුන් පවා සාදුනාද දෙන මෙවන් මහ පින්කම් සිදුකල ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. සියලු රැකියා කටයුතු අතිශයින් සාර්ථක වේවා. සියලු අනතුරු, කරදර, දුක් කම්කටොලු අරුණ දුටු ගනදුර මෙන්,  හිරු දුටු පිණිමෙන් විද්වංසනය වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් මල් මෙන් සුපිපේවා. නිවන් දක්නා ජාති දක්වා අසවල් දේ අඩුයැයි කිව නොහැකි තරමින් ඔබේ ජීවිතය පරිපූර්ණ වේවා. චෛත්‍යරාජයාණන් වහන්සේ ආරක්ෂා කනිරීමේ පිනෙන් සතරවරම් දෙවියන් සතර වටින් ආරක්ෂාව නිවන්දක්නා ජාති දක්වාම ඔබව ආරක්ෂා කරත්වා.

සේපාලිකා නංගියේ, ඔබ නිරන්තරයෙන්ම මේ පින්කම් සදහා ලබාදුන් දායකත්වයේ බලවෙන් ඔබේ ජීවිතය අතිශයින් සාර්තක වී සුඛිත මුදිත වේවා.

ඉෂාර අයියාටත් පුංචි දූ කේෂරා කෙත්මිණි ෆනෑන්ඩෝ පුංචි දූටත් මේ පින් හිමිවේවා. මේ අහිංසක දුවනියගේ සිතේ ඇති වූ ප්‍රාර්ථනාව මුදුන්පත් කල පිනෙන් කේෂරා දුවට සසර පුරා නිවන් දක්නා ජාති දක්වා කිසිදු අපල උපද්‍රවයකින් කර්ම විපාකයකින් දුකක් කදුලක් නොවේවා. ඍතු විපර්යාස ආදී ස්වාභාවික විපත් නිසා ඇතිවන සුලු රෝගාබාධ කාටත් පොදුයි. එහෙත් එවන් රෝගාබාධ පවා දුරින් දුරු වේවා.

‍දුනෙත් ජයන්ත මහතාටත් පවුලේ සැමටත් මේ පින් එකසේ හිමිවී සැපතින් සැපතට පත්වේවා. සසර පුරාවට සියලු දුක් කරදර කම්කටොලු දුරුවී යහපතම උදාවේවා. ඔබසතුසේ කැපකර අන්අය සතුටු කල පිනෙන් නිවන් දක්නා ජාති දක්වාම සියලු යස ඉසුරු ලැබේවා. අවසනදී පතන බෝධියෙන් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවා …

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා. කෙළවර පැතූ බෝධියෙන්ම සුවහසක් ජනසිත් නිවනින් සනසමින් නිවන් සුවයම ලැබේවා …

‍අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොවම සැනසේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ….

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page