Skip to main content

කළණ මිතුරෙකුගේ උදව්වෙන් දොළොස්මහේ පහණක් පූජා කලෙමි.

 

මේ පින්කම දොළොස් මහේ පහන් පූජාවක්.
ඔයාලට මතක ඇති කාලෙකට ඉස්සර පින්කම් ගොඩක් සිදුකලා. මෙන්න මෙතනින් බලන්න පුලුවන් ඒ පින්කම් පිලිබදව.

ඉතින් ඒ පින්වත් අයිය තමයි මේ පහන පරිත්‍යාග කලේ. ඒ පන්සල තමයි පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරය. පන්සලේ දොලොස් මහේ පහණක් තිබුන. ඒක හොරු අරන් ගියා. හොරා අල්ලන් බැරි උනා. ඉතින් පහන් ගේ විතරක් තිබුන. මේ පිලිබදව දැනුම් දුන්නම මේ පින්වත් අයිය ඒ පහණත් පරිත්‍යාග කරන්න භාර ගත්ත. අපිට පසුගිය පොසොන් පොහොය දවසෙ ඒ පහණ පරිත්‍යාග කරන්න පුලුවන් උනා. ඔයාලට පින්තූ‍ෙරන් පෙන්වන්නෙ ඒ පහණ තමයි. මේකෙ වටිනාකම රුපියල් 40,000ක්. නමුත් මේ පහණ හදපු කෙනා පන්සලේ දායකයෙක්. ඒ නිසා එයාගෙ මහන්සිය අඩුකරල පහණ රුපියල් 30,000කට ලබාදෙන්න එයා කාරුණික උනා. ඒ මුදල ලබාදුන්නෙ මම කියපු අයිය.

මුහුණුපොතේ මගෙ යහලුවෙක් වෙන මේ අයිය මගෙ මූණවත් දැකල නෑ. එහෙත් එයා මා ගැන විශ්වාස කරලයි මේ පින්කම් වලට මුදල් ලබා දෙන්නෙ.

පින්වත් යාලුවනේ පහන් පූජාවේ ආනිශංස මොනවද පොඩ්ඩක් බලමු.
පහන් පූජාවේ අනුසස්,
“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද

ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි.

පහන් පූජාවේ අනුසස් –
ප්‍රඥාව ලැබීමට හේතු වීම
හො‍ද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)

ඉතින් පින්වත් යාලුවනේ මේ මහා අනර්ඝ පින්කම් දෙකම සිදුකල ඒ දයාබර අයියගෙ නම මම මෙතන හෙලි කරන්නෙ නෑ. මොකද ඒක එයාගෙ පුද්ගලිකත්වයට බාදාවක් වෙන්න පුලුවන් නිසයි.
නමුත් ඒ අයිය පින්කම් සිදුකලේ තමන්ගෙ දයාබර අම්මටයි තාත්තටයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලයි. මේ සිදුකල පින්කම් බෙලෙන් ඔබවන් දරුවෙක් බිහිකල ඒ දයාබර පින්වත් දෙමාපියන් දෙදෙනාට දීර්ඝායුෂ ලැබේවා. සියක් වසරකට වැඩි කාලයක් ආයුෂ ලබන්නටත් නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් ගත කරන්නටත්හැකියාව ලැබේවා. මහලුවියට පත්වනවිට ස්වභාවිකව සිදුවන ඇස්පෙනීම අඩුවීම වගේ රෝග ඔබ කල පහන් පූජාවේ ආනිසංශයෙන් දුරුවෙලා මිය යන තුරුම ඉතාම තියුණු පෙනීමක් ඇතිවේවා. කණ් ඇසීම අඩුවන තත්වයන් ඔබ කල ඝණ්ඨාර පූජාවෙන් දුරුවෙලා මියෙන තුරුම හොදින් කන් ඇසීම සිදුවේවා. සියක් වසරකටත් වඩා ආයු වලදා සතුටින්ම මිය යන්නටත් සුගතිගාමී වෙන්නටත් කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නටත් ඒ දයාබර දෙමාපියන්ට හැකිවේවා.
එසේම දයාබර ඔබටත් ඔබේ බිරිදටත් ඔබේ දරුවන්ටත් නිදුක් නිරෝගී ජීවිතයක් ඇතිවේවා. ඔබ කරන කියන සියලු වැඩ කටයුතු අතිශයින් සාර්ථක වේවා‍. සොරකම් නොකර, අසාධාරණයෙන් හම්බ නොකර දාඩිය මහන්සියෙන් උපයාගත් ධනය වැයකර සිදුකල මේ මහා පින්කම් ඔබටත් පවුලේ සැමටත් මේ ජීවිතය තුල පමණක් නොව නිවන් දකිනා ජාති දක්වාම සැප විපාක ලැබේවා. කෙලවර ඔබ සියලු දෙනා පතන බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින්කම් හේතුවේවා …
සියලු මිතුරන් සමග අපි ඔබට මෙලෙස පුණානුමෝදනා කරමු.

දොළොස් මහේ පහණ

දොළොසේමහේ පහන් පූජාවේ මතක සටහන්