Skip to main content

රියන් 18ක් උස අවුකන අනුරෑ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

By August 1, 2015April 11th, 2016All Posts

අපි සිදුකල මේ දැවැන්ත ව්‍යාපෘතිය සිදුකෙරුනේ පොල්ගහවෙල පනලිය ගෝඨාභය රජමහා විහාරස්ථානයේ දි යි. මේ සදහා බදායකත්වය ලබාදුන් අයගේ විස්තර මෙහි දැක්වෙනව.

රූපසිංහ මෙනෙවිය  රු 525.000/-
දිනූෂ, ජනිත්, මිලින්ද මහත්වරු තිදෙනා      රු 60,000/-
රොෂාන් ප‍්‍රගීත් මහතා රු 40000/-
තෙනුක පුතාටදීර්ඝායුෂ පතා දෙමාපියන්   රු 36000/-
නම් සදහන් කිරීමට අකමැති අය  රු 25000/-
අමල් මහගෙදර මහතා ඇතුලූ පිරිස  රු 18000/-
අරවින්ද බන්ඩාර මහතා රු 15000/-
නන්දන මහතා  රු 11000/-
නිශාන් සුරංග මහතා   රු 10000/-
සුපුන් චතුරංග මහතා රු 5500/-
සුසිල් ශාන්ත මහතා  රු 5200/-
සමීර නිශ්ශංක මහතා රු 5000/-
නෙව්ශිකා හේරත් මිය  රු 5000/-
චින්තක ගුණවර්ධන මහතා රු 5000/-
සේපාලිකා මෙනෙවිය  රු 5000/-
දුමින්ද උදයකුමාර මහතා රු  4000/-
තිළිණ විජේවර්ධන මහතා රු 2000/-
දිනු බණ්ඩාර මහතා  රු 1000/-
චමිල රත්නායක මහතා   රු 500/-
අශාන් චතුරංග මහතා   රු 500/-

——————————————–

එකතුව 778,700

පිළිම වහන්සේ නිර්මාණය සදහා ස්වාමීන් වහන්සේ අකතට ලබාදුන් මුදල  රු 628,500/-

සමරුඵලකය සදහා වැය වූ මුදල  රු 11,000.00

සුදු තින්ත සදහා රු 18,400.00

කලු තින්ත සදහා රු 650.00

ෆ්ලෑෂ් ලයිට් එක සදහා රු 2200.00

———————————————

මුලු වියදම 660750.00

 

ඉතිරි මුදල රු 117,950.00

 

මේ ඉතිරි මුදල් පිලිබද වියදම් යොදවන ආකාරය ඔබට දැනුම් දෙන්නම්.

 

මේ වෙනුවෙන් වැඩිම මුදලක් දැරුවෙ අපේ බුදුදුනි අක්කායි. එතුමිය අපිට පුද්ගලිකව කථා කරල මේ සුවිශාල මුදල පරිත්‍යාග කලා. ඉතින් ඔබ සියලු දෙනා කරගත්තෙ සුලු පටු පින්කමක් නෙවෙයි. අටමහ කුසලයක්. බුදුපිලිම නෙලීu” නෙලවීම, පූජාව  අටමහ කුසලයට අයත්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න තරම් සවියක් ඇති මහ පින්කමක් මේක. මේ බලන්නකො අනුසස්.

බුදුපිළිම නිර්මාණයේ වටිනාකම මොහතෙක් මම ඔබට කිය දෙන්නම්.

බුදුන් වහන්සේ කෝසල දේශයේ සැවැත් නුවර පිහිටලා තිබුණු ජේතවනාරාමයේ වැඩ වසන කාලයේදී එක දවසක් බැහැර ප්‍රදේශයක ජනතාවට දහම් දෙසන්න වැඩම කරනවා. එදාම කෝසල දේශයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා මල්, සුවඳ ද්‍රව්‍ය ආදියත් අරගෙන තමන්ගේ පිරිස පිරිවරාගෙන බුදුන් වහන්සේ හමුවෙන්න පැමිණෙනවා.

ඒත් බුදුන් වහන්සේ විහාරයේ නැති බව දැනගන්න රජතුමා බොහොම කම්පාවට පත්වෙලා තමන් අරගෙන ආපු පූජා ද්‍රව්‍ය බුදුන් වහන්සේ වැඩ වාසය කරන ගන්ධ කුටියෙන් තැන්පත් කරලා ආපසු යන්න යනවා.

නැවතත් බුදුන් වහන්සේජේතවනාරාමයට වැඩම කළාම කොසොල් රජතුමා බුදුන් වහන්සේව හමුවෙලා උන්වහන්සේව පසුගිය දවස්වල නොදැකපු නිසා තමන් ඇතුළු ජනතාව අතිශය දුකට පැමිණි බවත් බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ නොදැකීමෙන් ඒ විදිහට දුකක් දැනෙනවා නම් බුදුන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ඒ දුක දරාගන්නේ කොහොමද කියලා කියනවා.

ඒ නිසා රජතුමා බුදුන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න. බුදුන් වහන්සේත් ලෝක සත්වයාගේ හිත සුව පිණිස බුදු පිළිමයක් නිර්මාණය කරන්න අනුදැන වදාරනවා.

ඊට පස්සේ රජතුමා බුදුන් වහන්සේගෙන් අහනවා බුදු පිළිමය කුමන ආකාරයෙන් කළොත්ද යහපත් කියලා. බුදුන් වහන්සේ වදාරනවා ලීයෙන්, තඹයෙන්, රිදීයෙන්, රන්වලින්, මැණික්වලින් ආදී දේවල්වලින් වඩාත් උසත් නැති වඩාත් සිහින් නොවන, වඩාත් මහත් නොවන බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ යුතුයි කියලා.

ඒ වගේමයි උන්වහන්සේ දේශනා කරනවා බුදු පිළිම නිර්මාණයේ විපාක කියලා නිමකරන්නත් බැහැ කියලා. ඒකට උපමා කීපයකුත් භාවිතා වෙනවා.

සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්”

මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්’

මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්”

මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.

ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

මේ දේශනාවන් සියල්ලම මැනවින් අහගෙන හිටපු කොසොල් රජතුමා අවසානයේදී බුදුන් වහන්සේට නමස්කාර කරලා රජ මාළිගයට ගිහින් රාජ භාණ්ඩාගාරයේ තිබුණු සඳුන් දැව කොටයක් ගෙන්වලා සියලුම ලක්ෂණ සහිත බුදු රුවක් කරවලා ඒ ප්‍රතිමාවට සිවුරක් පෙරවලා ජීවමාන බුදුන් වහන්සේගේම ආකාරයට නිම කරනවා.

ඊට පස්සේ රජතුමා ජේතවනාරාමයට පිටත් වෙලා බුදුන් වහන්සේට ප්‍රතිමාව නිර්මාණය කරලා අවසන් බවත් ඒක නරඹන්න වැඩම කරවන්න කියලා ආරාධනා කරනවා.

පස්සේ රජතුමා රාජාංගණයේ සත් රුවන් මණ්ඩපයක් කරවලා රන්, රිදී වගේ වටිනා ද්‍රව්‍යයන්ගෙන් වියන් බැඳලා, දැල් දමලා බිම සුවඳ ගන්වලා සත් රුවන් මණ්ඩපයේ වටිනා සිංහාසනයක් කරවලා ඒ මත බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරවනවා.

පස්සේ ජේතවනාරාමයේ ඉදන් මහා පෙරහැරින් බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාව රාජාංගණයට වැඩම කරවනවා.

බුදුන් වහන්සේ රාජාංගණයේ තිබුණු සත් රුවන් මණ්ඩපයට වැඩම කරද්දී සිංහාසනය මත වඩා හිඳුවලා තිබුණු සඳුන් හරින් කරපු සිත් පිත් නැති බුද්ධ ප්‍රතිමාව “සජීවී බුදුන් වහන්සේ වැඩම කරවලා සිටගෙන සිටියදී අජීවමාන වූ මම උස් ආසනයක හිඳීම සුදුසු නොවේ” කියලා වගේ සිංහාසනයෙන් බසින්න වගේ යනවා.

ඒ මොහොතේදී බුදුන් වහන්සේ වදාරනවා “ඇවැත්නි, ඔබ සිංහාසනයෙන් නොබැසම සිටින්න. මම ටික දවසකින්ම පිරිනිවන් පාන්නෙමි. මා නැති පන්දහසක් අවුරුදු සාසනයෙහි වැඩ පිණිස සිටින්න. ඔබ ආදර්ශයට ගෙන මගේ පරිනිර්වාණයෙන් පසුව සිව්වනක් පිරිස පිළිම නෙලනු ලබති” කියලා.

ඊට පස්සේ තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඉදිරියේ වසර පන් දහසක්ම දෙව් මිනිසුන්ගේ පූජාවට ලක්වෙන බුද්ධ ප්‍රතිමාවට තමන් වහන්සේ මුලින්ම ගරු කළ යුතුයි කියලා බුදුන් වහන්සේ සිතලා දෑ සමන් මල් අට මිටක් පිළිමයට පූජා කරනවා.

 

බුදුන් වහන්සේව අනුගමනය කරපු රහතන් වහන්සේලා පන්සීය නමත් සුවඳ මලින් බුදු පිළිමය පුදනවා. අනෙකුත් භික්ෂූන් වහන්සේලාත් රජතුමා ප්‍රමුඛ කෝසල වාසීනුත් විවිධාකාරයෙන් බුදු පිළිමයට පුද පූජා පවත්වනවා. මේ අවස්ථාවේදී බුදු පිළිමයට පුද පූජා පවත්වන්න දෙව් බඹුන් පවා එකතු වෙනවා.

අවසානයේදී බුදුන් වහන්සේ නැවත වරක් කොසොල් රජතුමාගේ ආරාධනයෙන් බුදු පිළිම කරවීමේ වගේම බුදු පිළිමයට ජීවමාන බුදුන් වහන්සේට කළ පුද පූජා පැවැත්වීමේ ආනිශංස දේශනා කරනවා.

තවද අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ.

එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.

“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”
මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

 

 

1.කඨින සිවුරක් පූජා කිරීම

2.අටපිරිකර පූජාකිරීම

3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.

6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.

මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ. (හැබැයි විපාක සම්පූර්ණ ආහෝසි වෙනව කියන්නම බැහැ. ඒ වෙනුවෙන් ඒ අකුසලයන්ට විරුද්ධ පින්කම් කරන්න ඕනි. උදාහරණයක් කිව්වොත් සතුන් මැරූ අකුසලයන්ගෙන් බේරීමට සතුන්ට අභය දානය දෙන්නට අවශ්‍ය වෙනව.)

මේ හේතුව නිසා අටමහා කුසලයන් සිදු කරගැනීමට බොහෝදෙනා උනන්දුවෙති.

එසේම මෙම පිංකම් සිදුකිරීම තුළින් පරියාප්ති, ප්‍රතිපත්ති, හා ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ චිරස්ථිතියටද විශේෂයෙන් මේ කාරණය හේතුවන බවද කිවයුතු වේ. මේ පිංකම් අනාගත ශාසනයේ උන්නතිය බලාම හඳුන්වා දී ඇති බව සිතිය හැකිය.

බොදු ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සළසා ගැනීමටත් මෙම අටමහා කුසලයන් හේතුවන බව ත්‍රිපිටකයේ සඳහන් විවිධ පිංකම්වල අනුසස් ප්‍රකාශකරන තැන්වල දක්නට ඇත. එහෙයින් අටමහා කුසලයන් සිදුකර ගැනීමට හොඳම කාල පරිච්ඡේදය වන්නේ මේ චීවර මාසය බව සඳහන් කළ හැකිවේ. ඉතින් චීවර මාසයට අදාලවයි ඔබ මේ මහා පින්කම සිදුකර ගත්තෙ.

 

අනාගත වංශ දේශනාවේදි මෙන්න මෙහෙම සදහන් වෙනව පන්සල් තැනුවෝද ගිලන් හල් තැනුවෝද, ධර්මශාලා කුටි සෙනෙසුන් කරවූවෝද ‍ෛමත්‍රී බුදුන් දැක නිවන් දකින්නෝය..

ඒ කියන්නෙ ඔබ සිදු කලේ මෛත්‍රි බුදුන් දැක නිවන් දකින් පින්කමක්.

ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකල ඔබ සියල්ලන්ගේ  නමින් පරලොව ගිය වරිග පරම්පරාවේ සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා. විශේෂයෙන්ම පුංචි දූ පුතුන්ට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්, නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමින් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය‍ට යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.

මේ පින්කම සිදුකල සිදුකල ඔබ සියලු දෙනාගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් බලයෙන් ගින්නෙන්, ජලයෙන්, සුලගින් නිරන්තර ආරක්ෂාව ලැබේවා. කිසිදු කලෙක සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව‍ා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවා.  මෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවා.  සතර වරම් දෙවියන් සතර වටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ්‍ය ආරක්ෂාවන් ඔබ වටා ජනිත වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා …

මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා….

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

අවුකන බුදුපිලිම වහන්සේ

අවුකන බුදුපිලිම වහන්සේ – පනලිය රජමහා විහාරය