Skip to main content

දුෂ්කර ආරණ්‍යයක ස්වාමීන් වහන්සේ නමක් සදහා ඉදිවන කුටියක් වෙනුවෙන් රු 79,000/- ක් ගෞතම බුදුසසුන වෙනුවෙන් පූජාකල වගයි …

By July 29, 2015April 12th, 2016All Posts

කතරගම තම්මැණ්නාව  ප්‍රදේශයේ දුෂ්කර ආරණයයක ගල්ගුහාවක වැඩවෙසෙන භාවනායෝගී ස්වාමීන් වහන්සේට කුටියක් සෑදීම වෙනුවෙන් අපි රු 79,000/- ක් මුදලක් පරිත්‍යාග කලා.

සජී ආරච්චිගේ මිය 29000/-
ජනක පී ලියනගේ මහතා 20 000/-
සේපාලිකා මෙනෙවිය 9000/-
චතුරංග ලක්ශානි මිය  5000/-
ඩී. චාමර අසේල මහතා 5,000/-
රවින්ද්‍ර පුෂ්පකුමාර මහතා 4000/-
හරේන්දු දේශප්‍රිය විතාණගේ මහතා  2500/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා  1500/-
ශෙහානි බොතේජු මහත්මිය  1000/-
තිළිණ විජේවර්ධන මහතා 1000/-
දීප්තිකා ධර්මපාල මෙනෙවිය 1000/-

එකතුව රු 79,000/-

පින්වත් යාලුවනේ පහතින් බලන්න ඔබ සිදුකරගත්තෙ මොනතරම් ආශ්චර්යවත් පින්කමක්ද කියල.

වරක් බුදුහිමියන් වහන්සේ මෙහෙම දේශනා කලා

ආරාමරොපා වනරොපා – යෙ ජනා සෙතුකාරකා
පපංච උදපානං ච – යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තො ච – සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨං සීලසම්පන්නා – තෙ ජනා සග්ගගාමිනො

– සංයුත්තනිකාය

යම් කෙනෙකු අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මල් පල ආදියෙන් යුත් ආරාමයන්, උයන් වවත් ද, සෙවණ පිණිස ගස් වවත් ද, ඒ දඬු පාලම් කරවත් ද, ළිං පොකුණු ආවාස,කුටි හා විශ්‍රාම ශාලා කරවත් ද, එබඳු සත්පුරුෂයනට හැමදා දිවා රෑ දෙකෙහි පින් වැඩේ, පින් පිරේයි බුදුරජාණන් වහන්සේ වදාළ හ.

කසේ වෙහෙස මහන්සි වී උපයා සපයා ගත් ධනය මහසඟරුවන විශයෙහි කැප කරමින්, “සියල්ල දුන්නාක් වැනි යැයි” බුදු රජුන් විසින් ම වදාළ සේනාසන පූජාව, මෙසේ නිවන් අරමුණු කරගනිමින් සිදු කරගන්නට හැකි වීම අතිශයින් විශ්මිත පුණ්‍ය කර්මයකි. සිල්වතුන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා මෙම කුටි පරිහරණය කරන වාරයක් පාසා, මේවාගේ වැඩ වෙසෙමින් ගුණදම් වඩන වාරයක් පාසා, මෙම කුටි තනවා පූජා කළ සැදැහැවත් පින්වතුනට දිවා රෑ පින් වැඩෙන්නේ ය..

යහලුවනේ අපදාන පාලියේ 499 වන අපදානයේ දසහන් වන පරිදි නළ කුටිදායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඩුවලින් කුටියක් කොට පූජා කල පිනෙන් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැපද ලැබුවාහුය.

ආපදාන පාලියේ 345වන අපදානයේ දසහන් වන පරිදි නළාගාරික හිමි නාරද බුදුහිමිට බටකිළියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනෙන් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ සිව් පිළිසිඹියාපත් සහිතව රහත් බවද ලැබුවාහුය.

ආපදාන පාලියේ 337වන අපදානයේ තුණකුයිදායක හිමි මීට කල් අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටියදී දිනක් කැලයට ගිය විටදී ලී ගෑලි හයක් ගෙන දෙක දෙක කතිර බැද ඒ මත තෘණ අතුරා කුටියක් කොට සංඝයාට පිදූ පිනෙන්

  1.  තව්තිසා දෙව්ලොව විමනක් පහළ විය
  2. උපනූපන් තැන සිතේ හැටියට ප්‍රසාද පහළ විය
  3. බිය, තැතිගැනීම්, ලොමු දැහැගැනිවීම් සිදු නොවීය
  4. සිංහ, ව්‍යාඝ්‍ර, වළස් වෘක, කරබානා වළස් ආදී සත්න් තමා යනවිට මාර්ගයෙන් ඉවත් වීම
  5. සර්ප, භූත, නාග, රකුස් ආදීන් තමන් යනවිට මගින් ඉවත්වීම
  6. කුටි සෙනෙසුන්, ධර්මශාලා ආදිය සියල්ල මේ පින්කම්වලට යත්වෙනව.
  7. බලන්න මොනතරම් ආශ්චර්යක්ද

 

තවද අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ.

එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.

“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

 

1.කඨින සිවුරක් පූජා කිරීම

2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.

 

මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ. (හැබැයි විපාක සම්පූර්ණ ආහෝසි වෙනව කියන්නම බැහැ. ඒ වෙනුවෙන් ඒ අකුසලයන්ට විරුද්ධ පින්කම් කරන්න ඕනි. උදාහරණයක් කිව්වොත් සතුන් මැරූ අකුසලයන්ගෙන් බේරීමට සතුන්ට අභය දානය දෙන්නට අවශ්‍ය වෙනව.)

මේ හේතුව නිසා අටමහා කුසලයන් සිදු කරගැනීමට බොහෝදෙනා උනන්දුවෙති.

එසේම මෙම පිංකම් සිදුකිරීම තුළින් පරියාප්ති, ප්‍රතිපත්ති, හා ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ චිරස්ථිතියටද විශේෂයෙන් මේ කාරණය හේතුවන බවද කිවයුතු වේ. මේ පිංකම් අනාගත ශාසනයේ උන්නතිය බලාම හඳුන්වා දී ඇති බව සිතිය හැකිය.

බොදු ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සළසා ගැනීමටත් මෙම අටමහා කුසලයන් හේතුවන බව ත්‍රිපිටකයේ සඳහන් විවිධ පිංකම්වල අනුසස් ප්‍රකාශකරන තැන්වල දක්නට ඇත. එහෙයින් අටමහා කුසලයන් සිදුකර ගැනීමට හොඳම කාල පරිච්ඡේදය වන්නේ මේ චීවර මාසය බව සඳහන් කළ හැකිවේ. ඉතින් චීවර මාසයට අදාලවයි ඔබ මේ මහා පින්කම සිදුකර ගත්තෙ.

අනාගත වංශ දේශනාවේදි මෙන්න මෙහෙම සදහන් වෙනව පන්සල් තැනුවෝද ගිලන් හල් තැනුවෝද, ධර්මශාලා කුටි සෙනෙසුන් කරවූවෝද ‍ෛමත්‍රී බුදුන් දැක නිවන් දකින්නෝය..

ඒ කියන්නෙ ඔබ සිදු කලේ මෛත්‍රි බුදුන් දැක නිවන් දකින් පින්කමක්.

ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකල ඔබ සියල්ලන්ගේ  නමින් පරලොව ගිය වරිග පරම්පරාවේ සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා. විශේෂයෙන්ම පුංචි දූ පුතුන්ට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්, නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමින් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය‍ට යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.

මේ පින්කම සිදුකල සිදුකල ඔබ සියලු දෙනාගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් බලයෙන් ගින්නෙන්, ජලයෙන්, සුලගින් නිරන්තර ආරක්ෂාව ලැබේවා. කිසිදු කලෙක සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව‍ා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවා.  මෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවා.  සතර වරම් දෙවියන් සතර වටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ්‍ය ආරක්ෂාවන් ඔබ වටා ජනිත වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා …

මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා….

 

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

 

තම්මැන්නාව ආරාමය

තම්මැන්නාව ආරාමය – ත.ර/ම

කුටි සේනාසන පූජාවේ ආනිසංස …