Skip to main content
Monthly Archives

January 2016

හෙළයේ අසිරිමත් පුදබිම – බුදුරැස් විහිදෙන ඓතිහාසික සෝමාවතී රජමහ වෙහෙරට රු ලක්ෂයකට ආසන්න වියදමක් දරා කප්රුක් හා අටපිරිකර පූජාවක් සිදුකල වගයි …

By All Posts

2016 ජනවාරි 16 වැනිද බුදුරැස් විහිදෙන සෝමාවතියට කප්රුක් හා අටපිරිකර පූජාවක් සිදුකලා. පහත නම් සදහන් පින්වත් මිතුරු  ඒ වෙනුවෙන් දායකත්වය ලබාදුන්නා.

කල්පන අතුරුගිරිය මහතා            රු 30,000/-
සුමිත් නන්දන මහතා            රු 10,700/-
සේපාලිකා නංගි             රු 10,000/-
රූපසිංහ මෙනෙවිය          රු 8,000/-
කපිල විමලරත්න  මහතා     රු 7,463/-
ධනුෂ්කා වර්ණකුලගේ මහත්මිය  රු 5,000/-
සුමිත් සෙනෙවිරත්න මහතා   රු 5,000/-
සෝභිත වීරක්කොඩි මහතා රු 4,000/-
රවීන්ද්‍ර ෆනෑන්ඩු මහතා    රු 3,500/-
ක්‍රිශාන්ත සමරවීරමහතා       රු 3,600/-
ක්‍රිශාන්ත ගමගේ මහතා        රු 3,200/-
රුවන් ජයසිංහ මහතා  රු 2,000/-
යසිත බෝගමුව මහතා රු 2,000/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1,500/-
තිළින විෙජ්වර්ධන මහතා රු 1,000/-
හිරන්ත මදුසංක මහතා රු 1,000/-
සමීර මදුරංග මහතා රු 1,000/-
හර්ෂණී ප්‍රනාන්දු මෙනෙවිය රු 1,000/-
දිනූෂා බණ්ඩාර මහතා  රු 1,000/-
ප්‍රියංකා අක්කා   රු 500/-
——————————————–
මුලු මුදල රු101463.00

 

අට පිරිකර රු  50,000.00
බස්රථයට රු 24,000.00
කප්රුක සදහා රු 8250.00
උදෑසන ආහාර සදහා රු 2925.00
බණ දේශනාකල ස්වාමීන් වහන්සේගේ පිරිකර රු 2000.00
ප්‍රවාහන වියදම ( අටපිරිකර ආදිය නිවසට ) රු 1000.00
හදුන්කූරු ආදිය සදහා රු 600.00
හේවිසි රු 500.00
චෛත්‍ය සංවර්ධන අරමුදල රු 500.00
සුලු වියදම් රු 80.00
——————————————-
වියදම රු 89,855.00

ඉතිරි මුදල (ලද මුලු මුදල රු101463.00 – වියදම රු 89,855.00 ) =  රු 11608.00

ඇස් නොපෙනෙන කාන්තාවක් සදහා විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියට බැර කිරීම පිණිස ඉතිරි මුදල් පදනම් අරමුදලට බැර කලා.

හොදයි. මේ පින්කමේ අනුසස් මොනවාද ?
සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකර ඇති චෛත්‍යයන් වන්දනා කිරීමේ දී, සැදැහැවත් බෞද්ධ ජනකාය අතීත යුගයේ සිට ම නොයෙක් පුද පූජා පිළිවෙත් අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේට තම අපමණ සැදැහැ බැති පෙම පළ කළ අයුරු වර්තමානයේ සිදුකරනු ලබන පුද පූජාවලින් ද වටහාගත හැකි ය. සෑ මළුවේ සිවු කොණේ පිහිටුවා ඇති වාහල්කඩ හා බුදු කුටිවල ද පුදසුන් මත ද මල් පහන් හා සුවඳ දුමින් පුද පූජා පවත්වන අයුරු දිනපතා දැක්ක හැකි ය. සෑ මළුවේ සිදුකරනු ලබන මෙම පුද පූජාවලට අමතරව ස්තූපයේ පේසාවළලූ වටා මෙන් ම ස්තූප ගර්භය වටා ද, විවිධ පුෂ්පමාලා දාම, විදුලි බුබුළු, සැරසිලි මෙන් ම කාෂාය වස්ත‍්‍ර හා ෂඞ්වර්ණ රෙදි පිළි (බෞද්ධ කොඩි) පලඳවා, වන්දනාමාන කිරීම වර්තමානයේ බෙහෙවින් දක්නට ලැබේ. චෛත්‍යයේ ගර්භය වටා කාෂාය සිවුරක් හෝ ෂඞ් වර්ණ කොඩි ඇතුළත් පලඳනාවක් හෝ යොදා වන්දනාමාන කිරීම නූතන යුගයේ ඇතැම් දෙනා හඳුන්වන්නේ ‘කප්රුක් පූජාව’ වශයෙනි. අනුරාධපුරයේ මහා ථූපය කරවූ ගැමුණු රජතුමාට තම ජීවිතයේ අවසාන කාලය ළංවන විට එය නිම කළ හැකිවූයේ සතරැස් කොටුව දක්වා පමණි. මිය යෑමට පළමු මහා සෑය නිමවා සම්පූර්ණ වූ විට පෙනෙන ආකාරය දැක ගැනීමේ බලවත් ආශාවක් රජතුමා තුළ ඇති විය. රජුගේ මල් සද්ධාතිස්ස කුමරු රජුගේ අභිලාෂය මුදුන්පත් කරනු සඳහා කටයුතු යෙදූ අයුරු මහාවංශය සඳහන් කරන්නේ මෙසේ ය; ‘මෙකුමරු සන්නාලින් ලවා සුදු පිළියෙන් සැට්ටයක් (කඤ්චුකයක්) කරවා එයින් සෑය වැස්වී ය. සිත්තරුන් ලවා ඊ මත වේදිකාවක් (ගරාදිවැට) ද පුන්කලස් පන්තීන් හා පංචාංගුලික පන්තීන් ද සිත්තම් කරවී ය. වඩුවන් ලවා හුණු දඬුමුවා ඡත‍්‍රය ද මුද්ධ වේදිකාවෙහි කරපත්මුවා හිර සඳ ද කරවී ය. මෙසේ කළ සෑය ලාකඩින් හා කංකුට්ඨක නම් දැයින් සිත්තම් කරවා සෑයෙහි කටයුතු කිස නිමියේ ය යි රජුට දැන්වී ය.’ (ශ්‍රී ලංකාවේ ස්තූපය, පරණවිතාන – 26 පිටුව) එය වූ කලී චෛත්‍යයක් වටා කඤ්චුකයක් ( නොහොත් කප්රුකක්) යෙදූ පළමුවැනි අවස්ථාව වෙයි. පසු කලෙක භාතිය රජු විසින් ද මහා ථූපය වටා කඤ්චුකයක් පලඳවා පුද පූජා පෙරහැර පැවැත්වූ බවට වංශ කතා ඇතුළු බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ සාක්ෂි දරයි. කණ්ඨක සෑයේ පේසා වළලූ වටා ගඩොලින් කඤ්චුකයක් ඉදි කොට ස්තූපය ශක්තිමත් කළ බවත්, අනතුරුව තවත් රජෙකු විසින් ශෛලමය කඤ්චුකයක් යොදා එය විශාල කොට තහවුරු කළ ආකාරය ද පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් හෙළි කරගෙන ඇත. මහා දාඨික මහානාග රජතුමා මහා ථූපයේ වෘත්තාකාර මාලකය වටා ශෛලමය පුෂ්ප දානයක් කළ බව වංසත්තප්පකාසිනියෙහි දැක්වෙයි. එය පද්මයක් විකසිත වන්නාක් මෙන් නිර්මිත වූ බව ‘පදුම විකසිත කිඤ්චික්ඛ පාසාණෙ’ යන යෙදුමෙන් හෙළි වෙයි. අතීත යුගයේ සිට ම රාජකීය ප‍්‍රභූන් ඇතැම් සැදැහැවත් ජනතාව විසින් මහ පෙරහැර පවත්වා චෛත්‍යයන් පැදකුණු කොට දාගැබ වටා පලඳවන ලද කඤ්චුකයන්, දේවතා රූප, පද්ම – හංස – හස්ති හා මල්කම් මෝස්තරවලින් යුතුව පැවති බව ඒ පිළිබඳව දැක්වෙන වර්ණනාවලින් හෙළි වෙයි. ස්තූපයේ පේසාවළලූ දිගේ ද ගර්භය වටා ද පුණ්‍ය සංකේත ඇතුළත් කඤ්චුකයන් පැලඳවීමේ සිරිත නූතන යුගය දක්වා ම විකාශනය වෙමින් පවතී. චෛත්‍ය වන්දනාව සඳහා යොදා ගනු ලැබූ එකී පලඳනාව විවිධ නම්වලින් කලින් කල හඳුන්වා තිබිණ. ‘ආයාග පට’ නම් කඤ්චුක පලඳනාවක් කළ චෛත්‍ය පූජාවක් ගැන අපදානපාළි ධර්ම ග‍්‍රන්ථ පාඨයකින් අනාවරණය වෙයි. ‘භට්ඨො භට්ඨෙන චිත්තෙන අවන්දිං ථූපමුත්තමං වඞ්ඪකෙහි කථා පෙත්වා මූලං දන්වාන’හං තදා භට්ඨො භට්ඨෙන චිත්තෙන ආයාගං කාරපෙය්යහං දුග්ගතිං නාභි ජානාමි ආයාගස්සං ඉදං ඵලං’ ‘තුටු පහටු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේගේ උත්තම ස්තූපය වන්දනා කළෙමි. නිර්මාණ ශිල්පීන්ගෙන් (වඞ්ඪකෙන) උපදෙස් ගෙන වියදම් පිරිමසා ආයාගයක් කරවා ලීමි. එම ආයාගය හේතු කොට ගෙන මම අගතියක ඉපදීමක් ගැන නො දනිමි. මේ වූ කලී එම ආයාගය පැලඳවීමේ ප‍්‍රතිඵලයයි’ එකී උදානය පහළ කරන ලද්දේ මේ මහා භද්‍ර කල්පයෙහි ආයාගයක් (කඤ්චුකයක්) දානය කිරීමෙන් රහත් ඵල ලැබීමට හේතු වාසනා ලද එක්තරා තෙරනමක විසිනි. ලංකාවේ පැරණි සෙල්ලිපිවල ‘අයක’ නමින් හැඳින්වුණ මෙම චෛත්‍ය සැරසිල්ල පැරණි ඉන්දියාවේ ඇතැම් ස්තූපයන්හි ද යොදා තිබුණේ යයි, පුරාවිද්‍යා සාක්ෂි පරීක්ෂා කිරීමෙන් පසුව මහාචාර්ය පරණවිතානයෝ පෙන්වා දුන්හ. ( උපුටාගන්නා ලදි.)

කප්රුක සහ කංචුකය යන වචනය පිලිබද නොයෙක් ගැටලු පැවතින බවද සිහිපත් ක යුතුය.

ඓතිහාසික සෝමාවතී රජමහා වෙහෙර

දිවයිනේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්‌ථාන අතරින් පොලොන්නරුව සෝමාවතී රජමහා වෙහෙරට හිමි වන්නේ අද්විතීය ස්‌ථානයකි. ක්‍රි. පූ. දෙවැනි සියවසේ රුහුණු රටේ රජ කළ කාවන්තිස්‌ස රජතුමාගේ නැගණිය වූ සෝමාදේවිය හා ඇගේ සැමියා වූ ගිරිඅභය කුමරු සමඟ මහවැලි ගඟ අසබඩ සෝමපුර නමින් රාජධානියක්‌ පිහිටුවා ගෙන එම පළාත පාලනය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ වන විට අවට ගල්ලෙන් තුළ මහ රහතන් වහන්සේලා වැඩ සිටි බව දැන සෝමාදේවිය නමින් චෛත්‍යයක්‌ ඉදිකර බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ ලබාගෙන එම චෛත්‍ය තුළ නිධන් කළ බව ශාසන ඉතිහාසයේ දැක්‌වේ.

මේ අනුව බලන කල මහනුවර දළදා මාලිගාවේ වැඩ වෙසෙන දන්ත ධාතුන් වහන්සේටත් බොහෝ කාලයකට පෙර සර්වඥ දකුණු දළදා වහන්සේ සෝමාවතී චෛත්‍ය තුළ නිධන් ගතව රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් පුද පූජා පැවැත්වූ බව ධාතු වංශය පෙන්වා දෙයි.

මෑතක්‌ වන තුරු සෝමාවතිය ගැන බොහෝ දෙනා දැන සිටියේ නැත. මහනුවර දන්ත ධාතුන් වහන්සේගේ ඉතිහාසය සිංහල රජදරුවන් අතින් නොකඩවා පැවත ආ නමුත් සෝමාවතිය පිහිටි පොලොන්නරුව ප්‍රදේශය පොලොන්නරු යුගය අවසන් කළ නිශ්ශංක මල්ල රජුගෙන් පසුව එනම් 12 වැනි ශත වර්ෂයෙන් පසු වනගත වී නටබුන් ස්‌වභාවයට ගිය නිසා සෝමාවතිය හා දකුණු දන්ත ධාතුන් වහන්සේ ද එතනින් අමතක විය. මෙම ප්‍රදේශය තවත් පරිහානියට යැමට හේතු වූයේ එය පොලොන්නරු නගරයෙනුත් සැතපුම් 26 ක්‌ පමණ ඈත මහ වන මැද පිහිටි නිසා ය.

සේරුවිල චෛත්‍යයේ නිදන්කර ඇති ශ්‍රී ලළාට ධාතුන් වහන්සේ පිළිබඳ ඉතිහාසය දක්‌වන ධාතු වංශයේ සෝමාවතිය සම්බන්ධ ඉතිහාසය ද සැකෙවින් දක්‌වා ඇත. සෝමාවතී නමැති කාවන්තිස්‌ස රජුගේ සොහොයුරිය අභය නම් කුමරෙකු සමඟÊවිවාහ වී රුහුණේ ‘ගිරි’ නමැති ස්‌ථානයක වාසය කර ඇති කල්හි මෙම දෙපළ රජු සමඟ අමනාප වී සේරුවිල පිහිටි ‘සේරු’ නම් ප්‍රදේශයෙහි සිටි සිව රජු බැහැදැක කරුණු කාරණා අවබෝධ කිරීමෙන් අනතුරුව රජ පැහැදී ඔහු විසින් තෑගි කර දෙන ලද පුණ්‍ය භූමියේ සෝමාවතී චෛත්‍යය ඉදිකර වූ බවත්, අනතුරුව රහතුන් වහන්සේ නමක්‌ විසින් ඉන්දියාවේ සිට වැඩම කරවන ලද දකුණු දන්ත ධාතුන් වහන්සේ නිදන් කළ බවත් ධාතු වංශය පෙන්වා දෙයි.

අතීත කතා පුවත

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කළ කල්හි උන්වහන්සේගේ අදිටනට අනුව ලළාට ධාතුවය, අකු ධාතු දෙනමය, සතර දළදා යන මෙම මහා ධාතු සත කොටස්‌වලට වෙන් නොවී, නොබිඳී, නොවිසිරී එළෙසින් ම ඉතිරි විය. ශ්‍රී ශරීරයේ ඉතිරි අස්‌ථි සියල්ලම මුං පියලි කඩ සහල්, අබ ඇට යන ප්‍රමාණයන්ට බිඳී වෙන් වී ගොස්‌ ඇත.

මෙහි දළදා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ‘රදනක’ (Canine) නම් වූ දත් විශේෂයයි. එයට පාලි භාෂාවෙන් ‘දාඨා’ යනුවෙන් කියනු ලැබේ. දීඝ නිකායේ ලක්‌ඛණ සූත්‍රයේ සඳහන් වන ආකාරයට බුදුරදුන්ට දත් සතළිහක්‌ විය. මෙම සියලු දත් සමාන්තරව මුතු ඇට පෙළක්‌ මෙන් විය. දළදා සතර අන් දත්වලට වඩා ඉතාමත් සුදු පැහැයෙන් යුක්‌ත විය. සතර දළදාවහන්සේගෙන් දීප්තිමත් ආලෝකධාරා විහිදේ. ඒවාට ‘දාඨා ප්‍රභා’ යයි කියනු ලැබේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නා රජු මහත් වූ දුකට පත්ව “අවසාන වතාවටත් බුදුරදුන් දැක බලා ගෙන වන්දනා මාන කරන්නෙමි” යෑයි සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමිණ නමස්‌කාර කර ධාතු බෙදන කල්හි එම ස්‌ථානයට විත් එකත්පසෙකින් සිටියේය. ධාතු බෙදීමේදී එහි පැමිණ සිටි ද්‍රෝණ නම් බමුණා සර්වඥ දකුණු දළදා වහන්සේ බිම දමා පයින් වසාගෙන ඇත. උඩු වම් දළදා වහන්සේ වස්‌ත්‍ර අතරේ සඟවාගෙන ඇත. එහි වැඩමව සිටි ඛේම මහරහතන් වහන්සේ විසින් චිතකයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් සර්වඥ යටි වම් දළදා වහන්සේ ගෙන කාලිංග දේශයට වැඩම කර එහි රජුට පිරිනමා ඇත.

සර්වඥයන් වහන්සේගේ එක්‌ දකුණු දළදාවක්‌ බිම දමා පයින් වසා ගෙන සිටින බැව් දුටු ජයසේන නාරජු ඔහුට නොදැනෙන සේ ධාතුන් වහන්සේ සෘද්ධියෙන් ගෙන නා ලොවට වැඩම කර නාග පුරය මැද මැණික්‌ සෑයක්‌ තනා දකුණු දළදා වහන්සේ එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පවත්වනු ලැබීය.

යටි වම් දළදාව සක්‌දෙව් රජු තව්තිසා දෙව්ලොවට ගෙන ගොස්‌ සිළුමිණ මහා සෑයේ තැන්පත් කළේය. පසු කලෙක හේමමාලා කුමරිය හා දන්ත කුමරු මෙම දළදා වහන්සේ ලක්‌දිවට වැඩම කරවූහ. මේ අනුව අවබෝධ විය යුත්තේ අද මහනුවර ශ්‍රී දළදා මැඳුරේ වැඩ සිටින්නේ මෙම යටි වම් දළදා වහන්සේ බවයි.

සෝමාවතියට වස්‌තු වන්නේ ද්‍රෝණ බමුණා විසින් පයින් වසාගෙන සිටියදී ජයසේන නා රජු විසින් ලබාගෙන නාග ලොවට ගොස්‌ මැණික්‌ සෑයේ තැන්පත්ව පූජෝපහාර දැක්‌වූ ඒ සර්වඥ දකුණු දළදා වහන්සේ ය.

කාවන්තිස්‌ස රජු සමයේ මහා දේව මහතෙරුන්ගේ සිසුවෙකු වූ මහින්ද නාහිමි තෙරණුවෝ සර්වඥ දකුණු දළදාව ගෙන ලක්‌දිවට වැඩම කළහ. ගිරි අභය රජතුමා විසින් එම දකුණු දළදාව නිදන්කර ස්‌ථූපයක්‌ තැනවූයේය. එය සෝමාවතී මහා සෑය නම් වෙයි. මෙය ක්‍රි. පූ. 2 වැනි සියවසේදී සෑදුවක්‌ වේ.

සෝමාවතී මහා සෑයේ වැඩ සිටින දකුණු දළදා වහන්සේ බොහෝ ප්‍රාතිහාර්යයන් සිදු කරන ධාතුන් වහන්සේනමක්‌ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. අවස්‌ථාවන් කිහිපයකදීම මේ ධාතු ස්‌ථූපයෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදී ඇත. ධාතු ගර්භයෙන් හේවිසි හඬ හා මධුර මනෝහර සංගීත හඬ නිකුත් වී ඇත. බොහෝ අවස්ථාවල සෝමාවතී චෛත්‍යරාජයන් වහන්සේ ෂඩ්වර්න ආලෝක කදම්භ විහිදුවන අවස්ථාද, දෙවියන් නොයෙක්වර සෝමාවතිය වැදපුදාගන්නා අවස්ථාද චායාරූප වලට හසුවී ඇත. මෑත භාගයේදී මෙවැනි ප්‍රතිහාර්ය දුටු බොහෝ අය වෙති. සෝමාවතී පුද බිම නොයෙක්‌ අසිරිමත් හා ආශ්චර්යයන්ගෙන් ගහණ පුණ්‍ය භූමියක්‌ ලෙසත්, බෞද්ධ අබෞද්ධකාගේත් ගෞරවයට හා පූජනීයත්වයට පත්ව තිබේ.

( දිවයින පුවත්පත ඇසුරිනි)

ඉතින් මේ පින්කම වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි වන්ත වෙනව.

මේ පින් බලයෙන් හාමදෙනාටම නිදුක් නිරෝගී සුවබර නව වසරක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.  ඔබ තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ධර්මය වහා වටහා ගැනීමට ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද පුතාගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. පුතාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා.

රට දැය වෙනුවෙන් තව තවත් බොහෝ සේවාවන් කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

මේ පින්කම සිදුකල සිදුකල ඔබ සියලු දෙනාගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් බලයෙන් සසර පුරාවටම නිදුක් නිරෝගී ජීවිතයක්ම උදාවේවා.  පින්වත් ඔබේ දෙමාපියන් සුජීවත්ව වාසය කරයිනම් ඒ අයට නිදුක් නිරෝගී ජීවිතයක් උදාවේවා. ඒ අය මිය පරලොව ගොස් වැරදීමකින් හෝ නරක ආත්මයක් ලබා ඇත්නම් ඉන් මිදෙන්නටද, සුගතියක සිටීනම් තව තවත් සැප සම්පත් වර්ධනය වන්නටත් මේ පින හේතු වාසනා වේවා. කෙලවර අමා මහ නිවනින් සැන්සේවා.

මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා….

අසිරිමත් සෝමාවතී වන්දනාව - 2016

අසිරිමත් බුදුරැස් විහිදෙන සෝමාවතී කප්රුක් හා අටපිරිකර පූජාව 2016

වීඩියෝව නරඹන්න