Skip to main content

10,000/= ක් චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීමට පූජා කල වගයි …

By February 14, 2014All Posts

මේ චෛත්‍යරාජයන් වහන්සේ ඉදිවන්නේ බුලුගොල්ල තියඩෝර්වත්ත විහාරස්ථානයේයි. ඉතික් චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙන් අපි රු 10,000/- ක මුදලක් පරිත්‍යාග කලා.

මේ පින්කම වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ

පද්මිණි දේවේනද්‍ර මහත්මිය  (රු. 5000/=)
අමල් ආර්. මහගෙදර මහතා (රු. 3000/=)
නිම්මි නදී මහත්මිය (රු. 2000/=)

යන පින්වත් සොයුරු සොයුරියන් විසින්.

චෛත්‍යරායන් වහන්සේ නමක් ඉදිකරන්නට දායක වෙන එක මහා පින්කමක්. ඒක අටමහ කුසල් වලින් එකක්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් මහ පිනක්. ඒ විතරක් නෙවෙයි සදා පින්වැ‍ඩෙන පින්කමක්. අපි මියගියත් හැමදාම පින් ජනිතවෙනව. මොකද මේ චෛත්‍යයට හැමදාම මල් පූජ කෙරෙන නිසා. ඊලගට අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව.

“ මෛත්‍රී බුදුන් දකින්නෝ කවරහුද යත් … … තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහුද යත්? පන්සිල් රැක්කාහුද දස කුසල්වල යෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය දාගැබ් කරවූවෝද දාතු කරඩු පිදුවෝද දාන ශාලා තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ” එහෙනම් මේ කරල තියෙන්නෙ මෛත්‍රීය බුදුන් දැක නිවන් දකින් පින්කමක්.

ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළවී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටුවා එකල විසූ සැදැහැවත්හු යොදුනක්‌ උස ස්‌වර්ණ චෛත්‍යයක්‌ කරවූහ. ඒ චෛත්‍යයට පිරිවර සහිතව පැමිණ රජතුමා හා නුවර වැස්‌සෝ ද දිනපතා මල් ගෙන ගොස්‌ පිදූහ. එබැවින් මල් දුර්ලභ විය. එක්‌ දිනක්‌ උපාසකයෙක්‌ මල් සෙවීමට මාලාකාර වීථියෙහි ඇවිද එක්‌ කහවණුවකට එක බැගිනුදු මල් සොයාගත නොහැකිව කහවණු අටක්‌ද රැගෙන මල් වත්තකට ගියේය. එහි ගොස්‌ මේ කහවණු අටට මල් අටක්‌ හෝ ඉල්ලීය. මල් සියල්ල නෙලා දී අවසන් යෑයි මල්කරු කීය. උපාසක තෙමේ මල් ඉතිරි වී ඇත්නම් මම සොයා ගන්නෙමියි කීය. එසේ නම් උයනෙහි ඇවිද සොයාගන්න යෑයි මල්කරු කීය. උපාසක තැන උයනට පිවිස මල් සොයමින් ඇවිදින විට බිම වැටී තිබූ මල් අටක්‌ ලැබ ඒවා මල්කරු වෙත ගෙනැවිත් ඔහුට කහවණු අට ගන්නැයි කීය. “මේ මල් ලැබී ඇත්තේ ඔබේ පිනෙනි. ඒ නිසා මේවාට මම මුදලක්‌ නොගනිමියි මල්කරු කීය. “මම නොමිලයේ මල් ගෙන භාග්‍යවතුන් වහන්සේට නොපුදමියි” කියා උපාසක තැන කහවණු අට මල්කරු ඉදිරියේ තබා මල් රැගෙන ගොස්‌ සැදැහයෙන් චෛත්‍යයට පිදීය. උපාසක ඒ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව ඉපදින.

දිනක්‌ මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව චාරිකාවේ හැසිරෙන සේක්‌ මහත් වූ ශ්වේත හස්‌තිරාජයකු පිට නැගී අප්සරාවන් පිරිවරා දිශාවන් ආලෝකවත් කරමින් දිව්‍යානුභාවයෙන් අහසෙහි ගමන් කරන ඒ දෙවියා දැක ඔහු වෙත වැඩම කළ සේක. දෙව්පුත් තෙරුන් වහන්සේ දැක ඇතු පිටින් බැස උන්වහන්සේට වැඳ සිටි සේක. එකල්හි තෙරුන් වහන්සේ දෙව්පුත් අමතා “තොප මේ සම්පත්තිය ලැබූයේ අතීතයේ කිනම් කුශලයකින්දැයි විමසා සිටි සේක.

හිමියනි, මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්‌ථූපයට නටුවෙන් ගිලිහුණු මල් අටක්‌ පහන් සිතින් පිදුවෙමි. මාගේ මේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒපිනෙන් ඇතිවූවකි. සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍යභෝජනාදී වස්‌තු මට ඒ පිනෙන් පහළවන්නේ යෑයි කීය.

මල් ජනයාගේ නෙත් සිත් පිනවන ශෝභාවක්‌ හා සුගන්ධයක්‌ ද ඇත්තා වූ දෙයකි. මල් පිදීමේ පිනෙන් විශේෂයෙන් උපනුපන් ජාතිවලදී රූප ශෝභාව ඇති වේ. උපනුපන් තැන බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයකු වීමට ද මල් පූජාව විශේෂයෙන් හේතු වේ. මල් පිදීමේ පිනෙන් දුටු දුටුවන් වශී වන රූප සම්පත්තියක්‌ හිමිවේ. ස්‌වර්ණතිලකාවට දුටු දුටු පුද්ගලයන් උමතු කරවන රූප ශෝභාවක්‌ හිමි වූයේ ද මල් පිදීමේ අනුහසිනි.

සුළුගුලු උපාසක යනු මලියමහාදේව නම් වූ රහතන් වහන්සේගේ ආධාරයෙන් පණ තිබියදීම තව්තිසා දෙව්ලොව සැරිසැරීමට අවස්‌ථාව ලැබුණු අයෙකි. දෙව් ලොවදී ඔහුට විවිධ සම්පත් ඇති බොහෝ දෙවිවරු දැසින්ම දැක ගත හැකි විය. උපාසකතුමා සිළුමිණි සෑය අසල සිටින විට රක්‌ත වර්ණ වස්‌ත්‍රාභරණයෙන් සැරසි රක්‌ත වර්ණ අශ්වයන් යෙදූ රථයකින් එක්‌ දෙවි කෙනෙක්‌ එහි පැමිණියේය. රක්‌ත වර්ණයෙන් සැරසුණු සුරංගනාවෝ රක්‌ත වර්ණ චාමර ගෙන පවන් සලති. මෙසේ නොයෙක්‌ ආකාරයේ දේවානුභාවයෙන් මහත් වූ ඓශ්චර්යයෙන් හැසිරෙන ඒ දෙවියා දැක උපාසක තැන හිමියනි, මෙබඳු සම්පත්තියක්‌ ඇත්තකු මින් පෙර මා කිසි දිනක දැක නැත. මේ සම්පත්තිය ලැබී ඇත්තේ කිනම් පිනකින් දැයි ඇසීය.

එවිට තෙරුන් වහන්සේ කියන්නේ උපාසකය, මොහු පෙර ජාතියේ ෙච්තිය විහාරය අසල ගමක ගොපලු දරුවෙක්‌ව සිටියේය. දිනක්‌ අනෙක්‌ ගොපලු දරුවන් සමඟ ගවයන්ට තණ කෑමට හැර වැලි තලාවක ක්‍රීඩා කරමින් වැලි එකතු කොට සෑයක්‌ තනවා රත්මල් වනයට පිවිස බොහෝ මල් නෙලා ගෙනවිත් එම සෑයට පුදා මල් වියළී නොයනු පිණිස අතු කඩා ගෙනවිත් ආවරණයක්‌ කොට සිත පහදා සවස ගවයන් රැගෙන නිවසට ගියේය. එදින රාත්‍රියේ හටගත් ආබාධයකින් මියගොස්‌ දෙව්ලොව උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තියයි වදාළ සේක.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.හැම තැනම ප්‍රදීප දැල්වේ.
2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)
3.තීක්ෂණ නුවණ ලැබේ.
4.යසසින් දිලිසෙත්
5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්

6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

මෙයින් සිවු අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්‍යයෙහි පැලී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිවු අනූ කපක් දෙවු මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා, රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ “සුධා පිණ්ඩිය” යන නමින් ද හඳුන්වන ලදහ.

මෙවන් මහ පින්කමක් කල  පින්වත් ඔබවන් දරුවන් බිහිකල දයාබර දෙමාපියන්ට නිදුක් නිරෝගී කාලයක් උදාවේවා. දීර්ඝායුෂ ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මෙපින් බලෙන් සැපවත් ජීවිතයකට මග පෑදේවා. ඔබේ ස්වාමියන්, බිරින්දෑවරුන්ටත් මේ පින් ලැබේවා. ඔවුන් සැපවත් ජීවිතයක් ගතකෙරේවා. ඔපේ දරුවන්ගේ ජීවිතය වාසනාවන්ත වේවා. විශේෂයෙන් ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක වේවා.

මේ පින්කම සිදුකල ඔබටත් සියලු සම්පත් යස ඉසුරු වර්ධනය වේවා. ඔබේ රැකියා කටයුතු අතිශයින් සාර්ථක වේවා. නිවන් දකිනා තාක් කල් නැහැ බැහැ කියන වචනයක් අසන්නටවත් නොලැබේවා. ඔබ පතන බෝධියෙන් නිවන් දකින්නට මේපින් හේතු වාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්.