Skip to main content

වැස්සෙන් ආරක්ෂා වීමට අබලන් ධර්මශාලාවක් සදහා තහඩු ලබාදුන් වගයි …

හොදයි පින්වත් යාලුවනේ අපි අදත් ලොකු පින්කමක් කලා. අනිත් පින්කම් එක්ක බලනකොට කුඩාවගේ පෙනුනත් මේක මහා ආනිසංස දායක පින්කමක්. ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියාහි, මෙල්බන් නුවර සේවයේ නියුතු දිනූෂ විජේතුංග පින්වත් සොහොයුරා සුදුසු පින්කමකට යොදන්න කියල රු. 10,000/=ක මුදලක් මට එවල තිබුන.

ඔබට මතකද යාලුවනේ අපි ධර්ම හාලාවක් හදන්න ආධාර ඉල්ලුව. ඒකට පින්වත් යාලුවො හැකි උපරිමයෙන් මුදල් එවල තිබුන. ඒ මුදල් යොමුකරල තිබුනෙ පන්සලේ දායක සභාවෙ ගිනුමටයි. ඒ නිසා ඒ මුදල් ධර්ම ශාලාව ගොඩනැගීමේ අරමුදල තුලම තියෙනව. ඒ මුදල් ආපසු ගන්න හිතදුන්නෙම නැහැ. මොකද කොහොම හරි මේ ධර්ම ශාලාව ගොඩනගනව කියන ස්ථාවරයෙයි අපි ඉන්නෙ.

වැසි දවසට ධර්මශාලාවේ පියස්ස තහඩු අතරින් වැහි වතුර ගලනව. මොකද දිරපු තහඩු උඩට කොස් ගෙඩි වැටිල වහලෙ හොදටම කැඩිලයි තියෙන්නෙ. අන්න ඒ නිසා අර පින්වත් යාලුව එව්ව මුදල් ටික හරිම ප්‍රයෝජනවත් උනා. ඒ නිසා අඩි 10ක් දිග තහඩු 18ක් විහාරස්ථානයේ ධර්මශාලාව තෙමෙන එක නවත්තන්න පියස්ස හදන්න පූජා කලා.

හොදයි ඉතින් අද දින තහඩු ලබාදෙමින් මේ පින්කමට දායක උන පින්වත් දිනූෂ විජේතුංග ලින්වත් සොහොයුරාටත්, ධර්මශාලාව වෙනුවෙන් මුදල් පරිත්‍යාග කල ශානිකා කල්පනී මියත්, රැවන් විජේසිංහ මහතාත්, කණිෂ්ක දයාරත්න මහතාත් ඇතුලු සියලු දෙනා සිදුකරගත්තේ ඉතාම වටිනා පින්කමක්. ධර්ම ශාලාව හදන්න ලක්ෂ 35ක් විතර යනව. ඉතින් ඒක හදන දවසට මේ ලැබිල තියෙන 74,826.52 මුදලත් ඒ වෙනුවෙන් යොදවනව.

හොදයි, මේ පින්කමේ ආනිසංස ඔබ දන්නවද? මේක අටමහා කුසලයකට අයත්වන පින්කමක්.
අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම,බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.
ඊලගට මේ පින්කම සදා පින් වැඩෙන පින්කමක. මේ බලන්න.
හැමදාම පින් වැඩෙන ආමිස දාන නාමාවලියක් සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රයේ සඳහන් වේ. එනම්,

ආරාමරෝපා වනරොපා
යෙ ජනා සෙතුකාරකා
පපඤ්ච උදපානඤ්ච
යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තෝ ච
සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨා සීල සම්පන්නා
තෙ ජනා සග්ගගාමිනොති

මෙහි අදහස නම්, “ යම් ජනයෝ මල්වතු පලතුරු වතු (ආරාම) වවන්නෝ ද, වන ලැහැබ් වවන්නෝ ද, ඒ දඬු, පාලම්, මංමාවත් ආදිය කරන්නෝ ද, පැන්හල්, වැව් පොකුණු කරන්නෝ ද, වාසස්ථාන කරන්නෝ ද දිවා රෑ හැමවිටම ඔවුන්ගේ පින් වැඩේ. ධර්‍මයෙහි පිහිටි, ශීල සම්පන්න ඒ ජනයෝ සුගතිගාමී වෙති.”

මේ කියන්නෙ මේ ධර්මශාලා ආදිය නිතර පරිහරණය වෙන්න වෙන්න පින් ජනනය වෙනව. අපි මැරුනත් අපිට අඛණ්ඩව පින් ගලාගෙන එනව.
ඊගලට මෙය ධර්ම දානයක් වෙනව. ඇයි? බණ කියන/ බණ අසන  ඇත්තන්ට පහසුකම් සැලසීමත් ධර්ම දානයේම කොටසක්.

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම
5. පිරිස් වලට බණපොත් කියවීම
6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර,ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම,පාවාඩ දැමීම
15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

ඉතින් මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ඔබ සියලු දෙනා සිදුකරගත් මහා පින්කම සැබැවින්ම මහා ආනිසංස දායක පින්කමක් බවයි. ඒ පින් බෙලෙන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල පින්වත් දෙමාපියන් ජීවත්වෙත්නම් ඔවුන්ට නිදුක් නිරෝගී සුවබර ජීවිතයක් ලැබේවා. සතවසක් ආයු ලැබේවා. මියගොස් ඇත්නම් ඒ අය අත්වැරදීමකින් හෝ දුගතිගාමී වී ඇත්නම් සුගති ගාමී වේවා. සුගතිගාමිව සිටීනම් තව තව ඒ ඉසුරු වැඩේවා. ඔබේ මලගිය අනිකුත් ඥාතීන්ටද මේ පින් අනුමොදන්වී දැව්‍ය සැප සම්පත් පහලවේවා. ඔබේ බිරිද, ස්වාමියා, දරුවන් සියල්ලන්ටම ඇති සියලු අපල උපද්‍රව දුරුවේවා. විශේෂයෙන් මානසික සතුට සුවයම ලැබේවා. පින්වත් ඔබ නිදුක් නිරෝගී චිර ජීවනයක් ලැබත්වා. මෙවන් මහා පින්කම් වැඩි වැඩියෙන් සිදුකරගන්නත් ඒ පින්බෙලෙන් දිවය මනුෂ්‍ය සැප ලබමින් කෙළවර අමාමහ නිවනින් සැනසෙන්නටත් මේ පින්ම  හේතුවාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම සැම හිතසුව කැමති එරන්ද ලක්මාල්.

තහඩු ලබාදීම

ධර්මශාලාවක් සදහා තහඩු ලබාදීම – කෝන්පොල