Skip to main content

පින්වත් කළණ මිතුරෙකුගේ දායකත්වයෙන් ත්‍රිපිටක පොත්වහන්සේලා පූජා කරමින් ධර්මදානයක් සිදුකල වගයි …

By January 8, 2015All Posts

පින්වතුනේ අද දින අපි ලෝකයේ උතුම්ම දානය පූජා කලා. සම්බුද්ධ ශ්‍රී මුඛ පද්මයෙන් සුදේශිත අති පරම පූජණීය ස්වාසූ දහසක් ධර්මස්කන්ධය අද දින කුරුනෑගල බෝගමුව ජේතවන විහාරස්ථානයට පූජා කිරීම සිදු කලා. මේ පරිත්‍යාගයට පූර්ණ අනුග්‍රහය ලබාදුන්නේ රුවන් එස්. ජයසිංහ මහතා සහ ඒ පවුලේ සාමාජික සමාජිකාවන් විසින්.

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්නබැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති

ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

  1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
  2. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
  3. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
  4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
  5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

  1. ධර්ම දේශනා කිරීම
  2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
  3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
  4. ධර්මය ඉගැන්වීම
  5. පිරිස් වලට බණපොත් කියවීම
  6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
  7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
  8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර,ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
  9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හාසිව්පස දීම
  10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගිබෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
  11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
  12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
  13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
  14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
  15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමටහේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විටතමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසකඋපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම දවැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන්දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති.විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින්චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවදආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනටකරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

1.කඨින සිවුරක් පූජා කිරීම

2.අටපිරිකර පූජාකිරීම

3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.

6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ.කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලුපව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

ඊට අමතරව මේ ජේතවන විහාරස්ථානයේ අද දින සිට සෑම දිනකම රාත්‍රී ගිලන්පස පූජාව අවස්ථාව්දී ත්‍රිපිටක පොත් වහන්සේලාගෙන් එක් සූත්‍රයක් සජ්ජායනය කරන බව ගෞරවණීය ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කලා. එසේම විහාරස්ථානයේ වැඩ සිටින සෑම ස්වාමීන් වහන්සේ නමකටම ත්‍රිපිටක පොත් වහන්සේ ලබාදීල පොත්වහන්සේලා නිවැරදිව අධ්‍යනය කරල විභහගයක් පවත්වා ප්‍රමාණවත් ලකුණු ලබාගන්නා සාමණේර ස්වාමීන් වහන්සේලාට ත්‍යාග ප්‍රදානය කරන්නටත් සැලසුම් කරල තියෙනව. ඒ තුලින් ස්වාමීන් වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය කරන්නට බලාපොරොත්තු වෙනව.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ රුවන් එස්. ජයසිංහ මහතාට වගේම ඔබසියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනකඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා.කෙලවර අමා හම නිවන අත්වේවා. එබට මෙලොව උත්පත්තිය ලබාදුන් දයාබර මෑණියන් වහන්සේට වගේම ඔබගේ බිරිදට,  දූ දරුවන්ට යහපත් අනාගතයක් අතිවේවා. නිදුක් නිරෝගීසුවබර ජිවිතයක් ලැබේවා. විශේෂයෙන් දූ දරුවන්ගේ ඉගෙනීම් සාර්ථක වේවා. සියලු යහපත්පැතුම් සාර්ථක වේවා. ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබතුමාගේ සිත් පහලවීමම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්. විශේෂයෙන් මාකෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්. ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. මේ සියලු පින් ඔබටත්, දයාබර බිරිදටත්, දරුවන් දෙදෙනා ඇතුලු ඔබ සියලු දෙනාට දෙව් මිනිස් සැප කෙළවර ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නොමැති පරම ශාන්ත නිවන්මග පතන බෝධියෙන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා.

බෞද්ධ සන්නිවෙදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

නැලව ආරාමය අල්මාරිය

නැලව ආරාමය අල්මාරි පරිත්‍යාගය