Skip to main content

පාසැල් දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම හා එක් දරුවෙක් වෙනුවෙන් ශීෂ්‍යත්වයක් ප්‍රදානය කිරීම …

By April 12, 2016May 6th, 2016All Posts

පාසැල් දරුවන් දෙදෙනෙකු  වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම හා එක් දරුවෙක් වෙනුවෙන් ශීෂ්‍යත්වයක් ප්‍රදානය කිරීම …

ආර්ථික අපහසුකම් ඇති දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් අද දින අප පාසැල් උපකරණ පරිත්‍යාගයක් සිදුකලා. මින් එක් දරැවෙකු වෙනුවෙන් මාස්පතා පිරිනැමෙන ශිෂ්‍යත්වයක් ද ලබාදුන්නා. විශේෂයෙන්ම දෙමාපියන්ගේ රුකවරණය අහිමිව පාසැල් නේවාසිකාගාරයේ රැදී ඉන්නා දියණියක් වෙනුවෙනුයි ශිෂ්‍යත්ව අරමුදල් ලබා දුන්නේ.

මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ ජීවන් විජේතුංග මහතාත්, රුවන් එස් ජයසිංහ මහතාත්, රොෂාන් ප්‍රගීත් මහතාත් යන අය විසිනුයි. පරිත්‍යාගයන් සිදුකලේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් තුමා මගිනුයි.

මින් රුවන් එස් ජයසිංහ මහතා විසින් රු 10,000.00 ක් ඇයගේ මූලික අවශ්‍යතාවයන් සපුරාගන්නට ලබාදුන්නා.

ජීවන් විජේතුංග මහතා විසින් සෑම මාසයකම ඇයගේ පාසැල් නේවාසික ගාස්තු ලබාදෙනවා.

රොෂාන් ප්‍රගීත් මහතා ලබාදුන් මුදල රු 5,000.00ක් වන අතර එයට පදනමේ ගිනුමේ මුදල්ද එකතු කර දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් පැසැල් උපකරණ ප්‍රදානය කලා. ඉන් එක් දරුවෙක් මුලින් සදහන් කල ශිෂ්‍යත්වය ලබාගත් දරුවායි. අනිත් දරුවා ඊට දින කිහිපයකට කලින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියේදී ඔබදුටු දෙනෙත් අන්ධ කාන්තාවගේ දියණියයි.

දරුවන් දෙදෙනාට පාසැල් උපකරණ වියදම රු 3315.00

දරුවන් දෙදෙනාට  පාවහන් සහ මේස් සදහා වියදම රු 2744.00

පාසැල් නිළ ඇදුම් සදහා වියදම රු 990.00

———————————————————

මුලු වියදම රු 7049.00

රු 5000.00 – රු 7049.00 =  (රු 2019.00)

හිග රු 2049.00 පදනමේ අරමුදලින් දරන ලදි.

ඔවුන් වෙනුවෙන් පාවහන්,  නිල ඇදුම්, හා අනිකුත් පාසැල් උපකරණ මෙහිදී පිරිනැමුන. ඒ පිලිබද සියලු බිල්පත් පහතින් දක්වා තියෙනව.

ඉහත නම් සදහන් මහත්වරුන්  වසර ගණනක් මා සමග ව්‍යාපෘතිවලට සම්බන්ධ වූ අයයි. ඒ සෑම කෙනෙක්ම  ව්‍යාපෘති  රාශියක් සදහා මේවන විට රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක තුන මුදල් යොමු කල අයයි

ඉතින් මෙවන් පින්කම් සදහා මුදල් යොමුකල ඔබවන් පින්වත් දරුවන් මෙලොවට බිහිකල රත්තරන් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඒ ඇත්තන් ජීවතුන් අතර සිටියත් මිය ගොස් සිටියත් මේ පින් ඒකාකාරවම අනුමෝදන් වී  ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදි සියල්ල ලබත්වා.  ඔබේ පවුලේ සැමටත් මලගිය ඥාතීන්ටත් මේ පින් ලැබේවා . සැපතින් සැපතට පත්වේවා. ඒ ඇත්තන්ට මේ පින්කමේ බලෙන් අනන්තවත් දිව්‍ය සලු, දිව්‍ය ආභරණ, දිව්‍ය ආහාර ලැබේවා …

‍ පින්වත් ඔබට නිවන් දක්නා ජාති දක්වාම කිසිදු  අඩුපාඩුවක් නොවේවා … සියලු සැප සම්පත් පහල වේවා …

ඔබේද   දූ දරුවන්ගේඇතුලු පවුලේ සමීපයන් සියලු දෙනාටද මේ පින් ලැබේවා. සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා … සියලු විභාග කඩඉම් ජයගන්නට මේ කුසලය හේතු වාසනා වේවා…

ඉතින් ඔබවන් කළණ මිතුරන් ආශ්‍රය පවා  මහා සැපක්.  මෙවන් මහ පින්කමක් සිදුකල පින්වත් යාලුවනේ. මේ පින් ලෝකයත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නාවූද, මෙවන් ශාසනික කාර්යයන් වෙනුවෙන් අපිට ආධාර උපකාර කරන, මිත්‍ර මෛත්‍රී බොධිසත්වයන් වහන්සේ , ශක්‍ර දෙවියන්, සතරවරම් දෙවියන් ඇතුලු අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියන්ට අනුමොදන් වේවා. සතුටු සිත් ඇති දෙවියෝ ඔබ ආරක්ෂා කරත්වා. මෙවන් පින්කම් වැඩි වැඩියෙන් කරගැනීමට අපටද ආශිර්වාද කරත්වා.

පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන් පින්වත් කළණ මිතුරනේ. ඔබට මේ භවයේ පටන් නිවන් දක්නා ජාති දක්වා  සියලු දුක් කරදර දුරුවේවා. ඉදිරි ගමන යහපත් වේවා. සියලු රෝග පීඩාදීන් දුරුවී නිදුක් නිරෝගී ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම ප්‍රඥාව ලබන්නට මහා වාසනාවක් තියෙන්නට ඕනි. ධර්මය අවබෝධ කරන්න පුලුවන් ප්‍රඥාවන්තයින්ට පමණයි. ඔබට උපදින හැම භවයකදීම මෙපින් බලෙන් මහා ප්‍රඥා සම්පත්තිය පහල වේවා.  එතුලින්   නිතරම නිවුනු සැනසුනු ජිවිතයක් ගෙවන්න ලැබේවි.  එසේම මේ පින් බලෙන් උපදින උපදින හැම භවයකම නැහැ බැහැ කියන වචනය අසන්නටවත් නොලැබෙන  මහේෂාක්‍ය ජීවිතයක්ම ඔබට ලැබේවා. අත දිගහැර මහ පින්කම් කරන්න පුලුවන් මහා ධනස්කන්ධයක් හිමිවේවා. කිසි කලෙක හිග නොවන මහා භාණ්ඩාගාර පහල වේවා. එසේම සිය බත්පත පවා දන්දෙන්න තරම් ධර්මයෙන් සැනහුන නිර්ලෝභී සිත් පහල වේවා. එතුලින් මහා පින්කම් කරන්නට තව තව අවස්ථාව ලැබේවා. මේ භවයේ පටන්ම උපදින හැම භවයකදීම  නිවන් දක්නා ජාති දක්වාම සතර වරන් දෙවියන් සතරවටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කුරා කුහුඹුවකුගෙන් වත් කිසිදු හිංසාවක් නොවේවා. ඉතාම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති අජරාමස සංඛාත අමා මහ නිවනින් සැනසෙන්න මේ පින්කම හේතු වාසනා වේවා ….

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා. කෙළවර පැතූ බෝධියෙන්ම සුවහසක් ජනසිත් නිවනින් සනසමින් නිවන් සුවයම ලැබේවා …

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ..

බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා …