Skip to main content

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල හත්වන සුගන්ධ කුටිය සහිත දෙවන ධර්ම ශාලාව …

By April 6, 2018Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට

www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පහුගිය දිනෙක මහා පින්කමක් කලා. ඒ ගලෙන්බිදුනු වැව චේතිය ලෙන ආරණ්‍ය සේනාසනයේ සිදුකල හත්වන සුගන්ධ කුටිය සහිත ධර්ම ශාලා පූජාව. මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දුන්නේ කලුයාපිටියේ නලින් අමරසිංහ මහතායි.

මේ වෙනුවෙන් රු 734,810.00 ක වියදමක් දරන ලද අතර ශ්‍රම දායකත්වයන් හා ගණනය නොකලහැකි වියදම් ආදයත් සමග රු ලක්ෂ 10 ඉක්මවා ඇතැයි සලකන්න පුලුවන්.

අමුදුව්‍ය වියදම් හා බුදුපිලිම වහන්සේ රු 4,25,000.00

වැඩ කුලී රු 284310.00

ප්‍රවාහන වියදම් රු 25,500.00

————————————-

දල මුලු වියදම රු 734,810.00

මෙහිදී බුදුපිලිම වහන්සේ ප්‍රවාහනය කරදීම කුරුණෑගල ජයවර්ධන කූල්ස්පොට්හි අධිපතිතුමා අතුලු කාර්ය මණ්ඩලය නොමිලයේම සිදුකර දුන් අතර ප්‍රදේශයේ බොහෝ පිරිසක් මේ වැඩ කටයුතු සදහා අපමණ සහයෝගය ලබාදුන්නා.

මේක අටමහා කුසලයකට අයත්වන පින්කමක්.

අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

1.කඨින සිවුරක් පූජා කිරීම

2.අටපිරිකර පූජාකිරීම

3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.

6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම,සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

ඊලගට මේ පින්කම සදා පින් වැඩෙන පින්කමක. මේ බලන්න.
හැමදාම පින් වැඩෙන ආමිස දාන නාමාවලියක් සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රයේ සඳහන් වේ. එනම්,

ආරාමරෝපා වනරොපා

යෙ ජනා සෙතුකාරකා

පපඤ්ච උදපානඤ්ච

යෙ දදන්ති උපස්සයං

තෙසං දිවා ච රත්තෝ ච

සදා පුඤ්ඤං පවඩ්ඪති

ධම්මට්ඨා සීල සම්පන්නා

තෙ ජනා සග්ගගාමිනොති

මෙහි අදහස නම්, “ යම් ජනයෝ මල්වතු පලතුරු වතු (ආරාම) වවන්නෝ ද, වන ලැහැබ් වවන්නෝ ද, ඒ දඬු, පාලම්, මංමාවත් ආදිය කරන්නෝ ද, පැන්හල්, වැව් පොකුණු කරන්නෝ ද, වාසස්ථාන කරන්නෝ ද දිවා රෑ හැමවිටම ඔවුන්ගේ පින් වැඩේ. ධර්‍මයෙහි පිහිටි,ශීල සම්පන්න ඒ ජනයෝ සුගතිගාමී වෙති.”

මේ කියන්නෙ මේ ධර්මශාලා ආදිය නිතර පරිහරණය වෙන්න වෙන්න පින් ජනනය වෙනව. අපි මැරුනත් අපිට අඛණ්ඩව පින් ගලාගෙන එනව.

ඊගලට මෙය ධර්ම දානයක් වෙනව. ඇයි? බණ කියන/ බණ අසන  ඇත්තන්ට පහසුකම් සැලසීමත් ධර්ම දානයේම කොටසක්.

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

  1. ධර්ම දේශනා කිරීම
  2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
  3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
  4. ධර්මය ඉගැන්වීම
  5. පිරිස් වලට බණපොත් කියවීම
  6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
  7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
  1. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්,වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
  1. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
  1. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
  1. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
  2. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
  3. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
  4. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
  5. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ සියල්ල ධර්ම පූජාවට අයත්. ඒ අනුව මේ සිදුකොට ඇත්තේ අපරිමාන කුසලයක්.

බෝසතාණන් වහන්සේට අපමණ රජ සැප ලැබුනේත් සක්‌විති රජ සැප අත්හැර, තුන් සෘතුවට ගැළපෙන රම්‍ය, සුරම්‍ය, සුබ වගේ දැකුම්කළු මහා ප්‍රාසාද අත්හැර මහන වුණු මහ බෝසතාණන් වහන්සේට ශාක්‍යයන් විසින් නිග්‍රෝධාරාමය, බිම්බිසාර රජතුමා විසින් වේළුවනාරාමයත්a, අනේපිඬු සිටුතුමා විසින් ඡේතවනාරාමයත්, විශාඛා උපාසිකාව විසින් පූර්වාරාමයත්, මහා ධන පරිත්‍යාගයන් සිදුකරමින් සකස්‌ කර පූජා කලේත් සසර සිදුකල මෙවන් අපමණ කුසල් නිසයි. පාවාරික සිටුවරයා කළ පාවාරිකාරාමය, කොසබෑ නුවර ඝෝෂිතාරාමය තවත් ඒ වගේ විහාර අතර වෙනවා. සුනාපරත්ත ජනපදයේ රත් සඳුන්වලින් විහාරයක්‌ බුදුරදුන් සඳහා ගොඩනැගූ බව පුණ්‌ණෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. මුලදී ගහක්‌ යට, ලෙනක්‌ තුළ වැඩ වාසය කරමින් බුදුන්වහන්සේගේ දහම් පණිවිඩය බෙදාහැරීමේ නිරතවෙලා හිටපු ශ්‍රාවක සංඝයා සඳහාත් බුදුන් දවස ආරාම ගොඩනැගූ බව අට්‌ඨක නාගර සූත්‍ර වර්ණනාවේ සඳහන් වේ. අට්‌ඨක නගර වැසි දසම කියන ගෘහපතියා ආනන්ද හිමියන් සඳහා පංචසතික විහාරයක්‌ කළ බවත්, චිත්ත ශෘහපති විසින් මහානාම හිමියන් සඳහා ආරාමයක්‌ කළ බවත් සඳහන් වෙනවා.

ඉතින් මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ඔබ සියලු දෙනා සිදුකරගත් මහා පින්කම සැබැවින්ම මහා ආනිසංස දායක පින්කමක් බවයි

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

වීඩියෝ නරඹන්න

 

චායාරූප නරඹන්න

සත්වන සුගන්ධ කුටිය හා දෙවන ධර්ම ශාලාව...

සත්වන සුගන්ධ කුටිය හා දෙවන ධර්ම ශාලාව… ගලෙන්බිදුනු වැව