Skip to main content

කදුකර ආරණයයකට බුදුපිලිම වහන්සේ සහිත බුදු කුටියක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

By October 26, 2014April 12th, 2016All Posts

කුරුණෑගල නැලව විවේක සෙනෙසුනට අලුතින් එලිමහන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහිත කුටියක් ඉදිකෙරෙමින් පවතින බව පසුගිය කාලෙ අපි එබට විටින් විට මතක් කලා අපේ පින්වත් යෙහෙලියක් සහ යහලුවෙක් මේ වෙනුවෙන් අනුග්‍රහය දැක්වූවා.

සෙව්වන්දි පතිරාජ මෙනෙවිය

ලක්ෂාන් රණසිංහ මහතා

බුදුකුටිය වෙනුවෙන් රු 185,000/= කට ආසන්න මුදලක් වැය උනා.

ඉතින් ඔබ දෙපල කරගත්තෙ සුලු පටු පින්කමක් නෙවෙයි. අටමහ කුසලයක්. බුදුපිලිම නෙලීම, නෙලවීම, පූජාව  අටමහ කුසලයට අයත්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න තරම් සවියක් ඇති මහ පින්කමක් මේක. ඊලගට සදා පින් වැඩෙන පිංකමක්. අපි මැරුනත් මෙතන බුද්ද පූජාවන් තියෙනව. ඉන් ලැබෙන පින් අපිට හැමදාම ලැබෙනව. හරියට ස්ථාවර තැන්පතුවක් දැම්මම අපි නොදැනිම පොලි හැදෙනව වගේ. මේ බලන්නකො අනුසස්.

බුදුපිළිම නිර්මාණයේ වටිනාකම මොහතෙක් මම ඔබට කිය දෙන්නම්.

බුදුන් වහන්සේ කෝසල දේශයේ සැවැත් නුවර පිහිටලා තිබුණු ජේතවනාරාමයේ වැඩ වසන කාලයේදී එක දවසක් බැහැර ප්‍රදේශයක ජනතාවට දහම් දෙසන්න වැඩම කරනවා. එදාම කෝසල දේශයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා මල්, සුවඳ ද්‍රව්‍ය ආදියත් අරගෙන තමන්ගේ පිරිස පිරිවරාගෙන බුදුන් වහන්සේ හමුවෙන්න පැමිණෙනවා.

ඒත් බුදුන් වහන්සේ විහාරයේ නැති බව දැනගන්න රජතුමා බොහොම කම්පාවට පත්වෙලා තමන් අරගෙන ආපු පූජා ද්‍රව්‍ය බුදුන් වහන්සේ වැඩ වාසය කරන ගන්ධ කුටියෙන් තැන්පත් කරලා ආපසු යන්න යනවා.

නැවතත් බුදුන් වහන්සේජේතවනාරාමයට වැඩම කළාම කොසොල් රජතුමා බුදුන් වහන්සේව හමුවෙලා උන්වහන්සේව පසුගිය දවස්වල නොදැකපු නිසා තමන් ඇතුළු ජනතාව අතිශය දුකට පැමිණි බවත් බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ නොදැකීමෙන් ඒ විදිහට දුකක් දැනෙනවා නම් බුදුන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ඒ දුක දරාගන්නේ කොහොමද කියලා කියනවා.

ඒ නිසා රජතුමා බුදුන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න. බුදුන් වහන්සේත් ලෝක සත්වයාගේ හිත සුව පිණිස බුදු පිළිමයක් නිර්මාණය කරන්න අනුදැන වදාරනවා.

ඊට පස්සේ රජතුමා බුදුන් වහන්සේගෙන් අහනවා බුදු පිළිමය කුමන ආකාරයෙන් කළොත්ද යහපත් කියලා. බුදුන් වහන්සේ වදාරනවා ලීයෙන්, තඹයෙන්, රිදීයෙන්,රන්වලින්, මැණික්වලින් ආදී දේවල්වලින් වඩාත් උසත් නැති වඩාත් සිහින් නොවන, වඩාත් මහත් නොවන බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ යුතුයි කියලා.

ඒ වගේමයි උන්වහන්සේ දේශනා කරනවා බුදු පිළිම නිර්මාණයේ විපාක කියලා නිමකරන්නත් බැහැ කියලා. ඒකට උපමා කීපයකුත් භාවිතා වෙනවා.

සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.

ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

මේ දේශනාවන් සියල්ලම මැනවින් අහගෙන හිටපු කොසොල් රජතුමා අවසානයේදී බුදුන් වහන්සේට නමස්කාර කරලා රජ මාළිගයට ගිහින් රාජ භාණ්ඩාගාරයේ තිබුණු සඳුන් දැව කොටයක් ගෙන්වලා සියලුම ලක්ෂණ සහිත බුදු රුවක් කරවලා ඒ ප්‍රතිමාවට සිවුරක් පෙරවලා ජීවමාන බුදුන් වහන්සේගේම ආකාරයට නිම කරනවා.

ඊට පස්සේ රජතුමා ජේතවනාරාමයට පිටත් වෙලා බුදුන් වහන්සේට ප්‍රතිමාව නිර්මාණය කරලා අවසන් බවත් ඒක නරඹන්න වැඩම කරවන්න කියලා ආරාධනා කරනවා.

පස්සේ රජතුමා රාජාංගණයේ සත් රුවන් මණ්ඩපයක් කරවලා රන්, රිදී වගේ වටිනා ද්‍රව්‍යයන්ගෙන් වියන් බැඳලා, දැල් දමලා බිම සුවඳ ගන්වලා සත් රුවන් මණ්ඩපයේ වටිනා සිංහාසනයක් කරවලා ඒ මත බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරවනවා.

පස්සේ ජේතවනාරාමයේ ඉදන් මහා පෙරහැරින් බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාව රාජාංගණයට වැඩම කරවනවා.

බුදුන් වහන්සේ රාජාංගණයේ තිබුණු සත් රුවන් මණ්ඩපයට වැඩම කරද්දී සිංහාසනය මත වඩා හිඳුවලා තිබුණු සඳුන් හරින් කරපු සිත් පිත් නැති බුද්ධ ප්‍රතිමාව “සජීවී බුදුන් වහන්සේ වැඩම කරවලා සිටගෙන සිටියදී අජීවමාන වූ මම උස් ආසනයක හිඳීම සුදුසු නොවේ” කියලා වගේ සිංහාසනයෙන් බසින්න වගේ යනවා.

ඒ මොහොතේදී බුදුන් වහන්සේ වදාරනවා “ඇවැත්නි, ඔබ සිංහාසනයෙන් නොබැසම සිටින්න. මම ටික දවසකින්ම පිරිනිවන් පාන්නෙමි. මා නැති පන්දහසක් අවුරුදු සාසනයෙහි වැඩ පිණිස සිටින්න. ඔබ ආදර්ශයට ගෙන මගේ පරිනිර්වාණයෙන් පසුව සිව්වනක් පිරිස පිළිම නෙලනු ලබති” කියලා.

ඊට පස්සේ තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඉදිරියේ වසර පන් දහසක්ම දෙව් මිනිසුන්ගේ පූජාවට ලක්වෙන බුද්ධ ප්‍රතිමාවට තමන් වහන්සේ මුලින්ම ගරු කළ යුතුයි කියලා බුදුන් වහන්සේ සිතලා දෑ සමන් මල් අට මිටක් පිළිමයට පූජා කරනවා.

බුදුන් වහන්සේව අනුගමනය කරපු රහතන් වහන්සේලා පන්සීය නමත් සුවඳ මලින් බුදු පිළිමය පුදනවා. අනෙකුත් භික්ෂූන් වහන්සේලාත් රජතුමා ප්‍රමුඛ කෝසල වාසීනුත් විවිධාකාරයෙන් බුදු පිළිමයට පුද පූජා පවත්වනවා. මේ අවස්ථාවේදී බුදු පිළිමයට පුද පූජා පවත්වන්න දෙව් බඹුන් පවා එකතු වෙනවා.

අවසානයේදී බුදුන් වහන්සේ නැවත වරක් කොසොල් රජතුමාගේ ආරාධනයෙන් බුදු පිළිම කරවීමේ වගේම බුදු පිළිමයට ජීවමාන බුදුන් වහන්සේට කළ පුද පූජා පැවැත්වීමේ ආනිශංස දේශනා කරනවා.

එක් වරක් උපගුත්ත හිමියන්ට බුද්ධ වේෂයෙන් මාරයා පෙනී සිට ඇති බව ග්‍රන්ථාරූඪ තොරතුරු වලින් පැවසේ.

බුදුන් වහන්සේ දෙව්ලොව වැඩ සිටි විටක කොසොල් රජතුමාගේ ඉල්ලීම පරිදි මුගලන් මහා රහතන් වහන්සේ එහි වැඩම කොට බුද්ධ සෙවණැල්ල රෙදි කඩකට ගත් බවත් එයින් පිළිමයක් නෙළු බවත් “කෝසල ධම්බ වර්ණනාවේ” තවදුරටත් මෙසේ විස්තර වෙනව. දිනක් බුදු පිළිම නෙළීම පිළිබඳ ව කොසොල් රජු බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා.

යේ ජීව ලොකේ පටිමා කරෙයිය

කිමානි සංඝං ලහෙතෙ මුනින්ද

පුජ්ජාමි තං සාධු – වදෙහි මයිහං

ඉදම්බ රූපී කොසගෙ භූමි පාලෙයි

(යම් මිනිසෙක් ලෝකයේ පිළිමයක් නෙළන්නේ ද එයින් ලැබෙන ආනිසංස කවරේ ද?)

එම පැනයම ආනන්ද හිමියන් බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා.

“මුනින්ද රාජේන සුදෙසියෙත –

ධම්මේන ලෙවෙයිය

පණිතං දෙසං කිමානි සංසං ප්‍රතිමාලංච

දේසේතු පුච්ජාටිහි අජ්හේ පහාසිං”

යමෙක් බුදුන් විසින් දේශනා කරන ප්‍රණීත ධර්මය ලියන්නේ ද, ප්‍රතිමා නෙළන්නේ ද එයින් ලැබෙන ආනිසංස කවරේ ද? යනුවෙනි.

එයට පිළිතුරු ලෙස අප ගෞතමයන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.

භයානකා පාසික සතත සංතුලෙ

දුරා සදෙ අගගි සිඛා නිරන්තරේ

මහාට්ඨපායෙ සුව සොල සුස්සාදෙ

හරායරේ ලේඛක බිම්බ කාරනා

“භයානක වූ පාපයික සත්ත්ව සමූහයාගෙන් ගැවසුන අතොරක් නැති ගිනිසිළු කරන කොටගෙන බැලිය නොහැකි වූ අටමහ නරකයෙහි හා ඔසුපත්වල භය පෙන්වා ධර්මය ලියන්නා වූ සැදහැවතුන් හා ප්‍රතිමා කරන්නවුන් අගතියෙහි නූපදිති” (පාලිගාථා විස්ස – කෝසල බිම්බ වර්ණනාව)

ඉතින් බුදු පිළිම කරවීමේ විශාල පිංකමක් බවත් බුදු පිළිමවලට පුද පූජා පැවැත්වීමත් විශාල පිංකමක් බව පැහැදිලියිනේ. ඒක නිසාමයි අට මහා කුසල්වලින් එකක් ලෙස බුද්ධ ප්‍රතිමා කරවීම දක්වලා තියෙන්නේ.

ඉතින් මෙවන් මහ පින්කමකට දායක වු දායාබර ඔබ දෙදෙනාගේම සියලු යහපත් පැතුමන් ඉටුවේවා … ඔබට ලැබෙන දරු මුනුබුරන් ඇතුලු ඔබ සැමගේ  සසර ගමන යහපත් වේවා. ඔබේ දෙමාපියන් ජීවත්ව සිටීනම් දීර්ඝායුෂ ලැබේවා. මියපරලොව ගොස් ඇත්නම් ඒ භවය සුගතිගාමී වේවා.  කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට හේතුවේවා වාසනාවේවා.

ඔබේ සියලු ව්‍යාපාර, ආදී කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේව‍ා. උපදින හැම භවයකදීම අප්‍රමාණ වස්තු සම්පත් ලැබී වැඩි වැඩියෙන් පින්දහම් කිරිමට ලැබේවා. නෑ බෑ නොකියා සියල්ලම ලැබෙන යහපත් අනාගතයක් උදාවේවා. සතරවරම් දෙවියන්ගේ රැකවරනය ලැබේවා. ගින්නෙන් ජලයෙන්. සොරසතුරු ආදී සියලු උපද්‍රවයන් දුරුවේවා. කෙලවර අමා මහ නිවනින් සැන‍ෙස්වා…

එසේම මේ පින්කම වෙනුවෙන් නොයෙක් අයුරින් දායක වෙමින් තිරය පිටුපස සිට විශාල ශක්තියක් වූ නාරියපොල විසුද්දි අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේටත්, ආරාමයේ ප්‍රධාන දායක ටයසුන්දර මැතිතුමා ඇතුලු සියලු දායක මහත්වරුන්ටත් මෙහි ඉදිකිරිම් වෙනුවෙන් නන් අයුරින් වෙහෙස මහන්සි වූ සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල්වල සැමටත් මෙපින් බලෙන් සියලු දුක් කරදර දුරුවි නිදුක් නිරෝගි සුවබර ජීවිතයක් උදාවේවා. සසර පුරා නෑ බෑ නොකියා අතපුරා හිත පුරා දන්දිය හැකි වස්තු සම්පත් දන සම්පත් ලැබ්වා. මතු නිවනින් සැනසීම පිණිස මේ පින්කම් හේතු වාසනා වේවා …

බෞද්ද සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

බුදුපිලිම වහන්සේ සහිත බුදු කුටියක් - නැළව

බුදුපිලිම වහන්සේ සහිත බුදු කුටියක් – නැළව