Skip to main content

අනතුරකින් ඇසක පෙනීම අහිමි වූ මවකට මුහුණුපොතේ පින්වත් මිතුරන් දෙදෙනෙකුගේ දායකත්වයෙන් රු 38,100.00 ක වියදමින් කාච බද්ධය සිදුකල වගයි …

By July 6, 2015April 12th, 2016All Posts

2015 ජූලි මස 5 වැනිදා අපි තවත් මහ පින්කමක් සිදුකලා. හදිසි අනතුරකින් ඇස් පෙනීම අඩාල වූ මවකගේ ඇසකට කාච බද්ධය සිදුකලා. අනෙක් ඇස යථා තත්වයට ගැනීමට නොහැකි බව වෛද්‍යවරැන් පවසනවා.

මේ පින්කම සදහා පින්වත් අමල් ආර් මහගෙදර මහතා සහ මහත්මිය පූර්ණ දායනත්වය ලබාදීමට කටයුතු කලත් හදිසියේ මිල ඉහළයාම හේතුවෙන් ඉතිරි මුදල නම් සදහන් නොකල මිතුරන්ගේ ලැබීමකින් පියවා දැමුවා. ඒ අනුව අමල් මහතා සහ මහත්මිය රු 35,000.00ක මුදලක් ලබා දුන් අතර ඉතිරි රු 3100.00 වෙනත් පින්වතුන්ගේ මුදලින් පියවා ගත්තා.

පින්වත් අමල් මහතාණෙනි, මහත්මියණි, නම් සදහන් නොකර මුදල් ලබාදුන් මිතුරාණෙනි, ඔබ මේ සිදුකලේ මහා පින්කමක්. එහි කුසලය මෙපමණයැයි කිව නොහැකියි. විශේෂයෙන්ම දෑස් පෙනීම ලබාදෙනවා යනු මහා කුසල දායක පින්කමක්.

අප මහා බෝසතාණන් වහන්සේ සිවි නම් රජ කෙනෙකුව ඉපිද රාජ්‍ය කරන සමයෙහි උන්වහන්සේගේ දාන පාරමිතාව සපුරණු වස් සියලු දේ දන් දුන් සේක. ඉදින් මාගේ දාන පාරමිතාව මෂ්ථකප්ප්‍රාප්ත කරනු වස් යමෙක් මාගේ ශරීර අවයවයක් ඉල්ලා සිටීද එයද දන්දෙමියි සිතා ගත්තේය මෙය දුටු සක්දෙව් රජ මහලු බමුණකුව වෙස්වලා ඇවිත් ඇස්දෙක ඉල්වීය. රජ තෙම ඉතා සතුටුව සිය රාජකීය වෛද්‍යවරයා කැදවා සිය දෑසම ගලවා බමුණාට දෙන්නයැයි අන කලේය.

එවිට වෙදතෙම බොහෝ බෙහෙත් එක්කොට නිලුපුලෙක්හි ගල්වා දකුණුනාසයට එලුයේය. එකෙනෙහි ඇස්බැම වැටී නහර වැලෙහි එල්ලී සිටියේය. ඇස් දෙකෙහි අධික වේදනා උපන්නේ ය. ලේ දහරින් සළු තෙමුණේය. රජ පිරිස මහ ජනයා සමඟ රජු පාමුල ඇද වැටී හැඬූහ. වෙදතෙම වමතින් ඇස අල්ලා දකුණතින් සැතගෙන නහරය කපා රජ්ජුරුවන්ගේ අතෙහි තැබීය. රජතුමා තවමත් එල්ලෙමින් තිබෙන ඇසින් ඒ ඇස බලා බමුණා කැඳවා බුදුබවම ලැබේවායි පතා එය බමුණාට දුන්නේය. එතෙමේත් බොහෝ දෙනා බලා සිටියදී තමා ඇස් වලෙහි එය ඔබා ගත්තේ එකානෙහිම පෙනීමේ ශක්තිය ලද්දේය. රජතුමා ඉතා සතුටට පත්ව අනිත් ඇසත් ගලවා දුන්නේය. මහළු බමුණා එයද තම ඇස් මත්තේ තබා ප්‍රකෘතිමත් කොට ඉන් නික්ම ටික දුරක් ගොස් අන්තර්ධාන වී ගියේය.

පසුව බවුන් වැඩීමට ගිය රජු හට දානානිසංස බෙලෙන් නැවතත් නෙත් පහල වූ බවත් ඒව දිවය නේත්‍ර වූ බවත් සිවි ජාතකයේ සදහන් වේ. ( සිවි ජාතකය කියවන්න – 

http://dhamma.ifbcnet.org/485-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA/

මේ අයුරින් සසර පුරා නෙත් දන්දිම, නෙත් සුවපත් කිරීම පමණක් නොව නෙත් වලින් රවා නොබැලීම ආදී මහා කුසලයන් නිසා බුදුවූ භවයේදී බුදුහිමියන් වහන්සේගේ නෙත් වලින් දෙතිස් මහා පුරුෂ ලක්ෂන වලින් දෙකක් විද්‍යාමාන විය.

ඉතා නිල්වන් නෙත් ඇතිබව (අභිනීලනෙත්ත ලක්ඛණං )

  1. එකෙනෙහි උපන් වසු පැටියෙකුගේ බදු දිගු සුන්දර දැස් ඇති බව ( ගෝපකුම ලක්ඛණං )

දුටුවන් මන වශී කරනා කාන්තිමත් නෙත් යුවලක් මෙන්ම කෙතරම් බලා සිටියත් දෙව්, බඹු, මිනිස් කිසිවෙකුට තෘප්තිමත්වීමක් නැති මනස්කාන්ත නෙත් යුවලක් හිමිවීමද දිව්‍ය නේත්‍ර පහලවීමද උන් වහන්සේ සසර පුරා කරන ලද පින්කම්වල ආනිසංසයි.

ඉතින් අමල් මහතා සහ මහත්මියටත්, මුදලින් දායක වූ අනෙක් මිතුරාටත් මේ සිදුකල පුණ්‍යකර්මයේ බලය සසර පුරාවට නිවන් දක්නා ජාති දක්වාම ඇස්වලට වැලදෙන කිසිම රෝගයක් හට නොගැනීමටත්, ඉතා පිරිසිදු  දර්ශණීය පෙනුමැති ඇස් පහළ වීමටත්. සැමවිටම දුර දක්නා නුවණ පහල වීමටත්. රාත්‍රියේ පවා පෙනිම ඇතිවීමටත්, කෙතරම් නිදි වර්ජිත උවත් ඇස්වල පීඩා ඇති නොවීමටත්, වයසට යාමෙන් හෝ ඇස් පෙනීම දුර්වල නොවීමටත්, දිව්‍ය නේත්‍ර පහල වීමටත් හේතුවාසනා වෙනව. ඒවන් මහ පින්කමක් සිදුකරගත් ඔබ අපවත් ඒ පින්කමට දායක කරගැනිම පිලිබද අපද පුණ්‍යානුමෝදනා සිදු කරනව.

එසේම මේ පින් බලෙන් නිවන්දක්නා ජාති දක්වාම සසර පුරාවට නිදුක් නිරෝගී සුවබර ජීවිතයක්ම උදාවේවා. අසවල් දේ නැහැයි බැහැයි නොකියන පරම පිවිතුරු ජීවිතම ලැබේවා. නැහැ බැහැ නොකියා දන් දියහැකි මහේෂාක්‍ය ජීවිතම පහල වේවා. දිව්‍ය නේත්‍ර ලැබේවා. සියලු අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක වේවා.

ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උදාරතර දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරව ලැබේවා. දෙලොවම ජීවිත සාර්ථක වේවා. සියලු දෙනාටම උතුම් අමා මහ නිවන් මග දැක සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාතයන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා